Monday, April 22, 2013

‘‘ආනන්දයෙන් පඥාවට සංගීත චාරිකාව ’’


කෝකිලයන් ඉමිහිරි ගීත ගයන තුරුලිය මලින් බරවන අස්වනු වලින් කෙත්වතු සරුවන භාග්‍යවන්ත මාසය එළඹිලා . මේ බක් මාසයයි.  බක්මහේ 07 වෙනිදා හැන්දෑවෙ මිහිතල මිතුරන්ගේ නවාතැනට ඒ කියන්නෙ කොඩිගහකන්ද අභය භුමියේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට සහෘදයන් රොද බඳින්න පටන් ගත්තෙ අතිශයින්ම දුර්ලභ සංගීතමය අත්දැකීමක් ලබන්නයි.

සංගීතය කියන්නෙ මිනිස් සංතානය පමණක් නොව  ඕනෑම සජීවී වස්තුවක් වෙත යහපත් බලපෑමක් කළ හැකි මාධ්‍යයක්. ගහ කොළවලට පවා සංගීතයේ බලපෑමක් ඇති බවට මතයකුත් තියෙනවනෙ. ඒත් අද වන විට සංගීතයේ නාමයෙන් සිදුවන දේවල් දැක්කහම ඇතිවන්නෙ ජුගුප්සාවක්. මේ ලඟදී දවසක රත්නපුරය බලා වාහනයේ යන කොට උදෑසන ගුවන් විදුලයේ වැඩසටහනකට ආපු වෛද්‍යවරයෙක් පවසපු අදහස් ටිකක් මෙහි සටහන් කරන එක හොඳයි කියල හිතුන. රටේ සෑම 3 දෙනෙකුගෙන් එක් අයෙක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව එදින පුවත් පත්වල පළවුන ප‍්‍රවෘත්තියක් ගැනයි වෛද්‍ය තුමාගෙන් විමසුවෙ. එතුමා ඒ සඳහා හේතු කාරණා ඉදිරිපත් කරන ගමන් සංගීතය ගැනත් කිව්ව. උදාහරණයක් ලෙස එළිමහන් සංගීත සංදර්ශනයක පටිගත කළ කොටසක් වාදනය කළා. එතුමා පැහැදිලිව කිව්වෙ මේ සංගිතය නෙමෙයි. මේක ඝෝෂාවක්. මේ හරහා කථා කරන්නෙ අපේ මනසට නෙමෙයි. අපේ හදවතට නෙමෙයි. අපේ මස් පිඩුවලට තමයි කථා කරන්නෙ.  ඒ හරහා අපේ රුධිර පීඩනය වැඩි වෙනව. හුඟක් සංගීත සංදර්ශන නිමා වෙන්නෙ රංඩුවකින්. සමහර විට පිහි ඇණුමකින්. ඇයි එහෙම වෙන්නෙ. සංගීතය විකුණාගෙන කන සියල්ලම මුදල් බවට පෙරලන ධනවාදී සමාජයේ කුණුවෙන  ඕජස් ගලන දහ ජරාව තමයි මේ අපි අත්විඳින්නෙ. සංගීතය නමින් අපි අත්විඳින මේ විකෘතිය මුළු සමාජයටම මහා විපතක් සිදු කරනව. අන්න එවන් වකවානුවක මිහිතල මිතුරන්ගේ සොබාසවිය තරුණ සමාජය කල්පනා කළා අර්ථවත් යමක් සමාජයට හැකි විදිහට දායාද කරන්න. ඒ අරමුණ ඇතිවයි ආනන්දයෙන් පඥාවට සංගීත චාරිකාව ඇරඹුනේ.

මේ වැඬේට අපිට උදව් කළේ ඔළබොඩුව සහෘද කැල. ලීලාරත්න ලියනගේ කියන්නෙ අපේ සංවිධානය 1994 ආරම්භ කරන දවසෙ මුලටම හිටපු සාමාජිකයා. ඔහු තමයි එදා තාවකාලික ලේකම් උනේ. එතුමා වැඬේ සම්බන්ධිකරණය කළා. විමලසේන කංකානිගේ අපේ පැරණිම සාමාජිකයෙක්. ඔහු සංගීත කණ්ඩයමේ මුළු බරම කරට ගත්ත. අවශ්‍ය ගුණාත්මක බවින් පිරිපුන් වැඩසටහනක් සඳහා අවශ්‍ය සම්පත් ඔහු හොයාගත්ත. නිස්සරණධ්‍යාශයෙන්ම ඔලබොඩුව සංගීත ශිල්පීන් සහායට ආව. කවුරුත් ඉවෙන් වගේ දැන ගත්ත මේ කරන්නෙ නියමම වැඩක් කියල. 

2013 බක් මාසෙ 07 වන ඉරිදා රාතී‍්‍ර 08.00 ට අපේ සංගීතමය රසෝගය රස ගුලාවක් වෙලා අපේ සවන් පත් හරහා අපේ හදවත් ස්පර්ශ කරන්න පටන් ගත්ත. 

අපි නීතිඥ ජෝන්ද සිල්වා ශූරීන්ගේ සිරිසඟබෝ නූර්තියේ එන සියවසකට ආසන්න කාලයක් මෙරට ජන හදවත් තුළ නොනැසි පවතින දන්නෝ බුදුන්ගේ ගිතයෙන් සංගිත වන්දනාව ආරම්භ කළා. 



හෙළ සංගීතය ඇරඹෙන්නෙ නූර්ති නාඩගම් ගී හරහා. ඊට පස්සෙ ග‍්‍රැමපෝන් ගීත. අපි මේ මං ඔස්සේ ඉදිරියට ඇදුන. ඇත්තෙන්ම සංගිතයයි ගායනයයි ආයෙ දෙක් නැහැ. නියම කොලිටි. මුල් ගායනය වගේමයි.අහමද් මොහිදීන්, ඊබ‍්‍රාහිම් මාස්ටර්, හරහා මෙම සංගීත චාරිකාව ඉදිරියට ගලාගෙන ගියෙ රස සාගරයේ රැළි නංවමින්  


ඇලන් රත්නායක ශුරීන් එදවස ගැයූ ග‍්‍රැමපෝන් යුගයේ ගිතයක් ‘‘ ගෞතම මුනිඳා වැඩ සිටි කාලෙ නිග්‍රෝධාරාමේ......’’ ගිතය අපේ නව පරපුරට දායාද කරන අවස්ථාව

ග‍්‍ර‍්‍රැමපෝන් යුගයෙන් අපි ආවෙ සිංහල සිනමාවට. සිංහල සිනමාවෙ පේ‍්‍රමනීය හඪකින් ගී ගැයූ ධර්සදාස වල්පොල සුරතලි චිත‍්‍රපටියට ගැයූ මිහිරි ගීයක රස මතුවන්නට පටන් ගත්තා. සුරතලී ..... සංගීතේ රසේ වෙලී තනිවූ දා මා......ඔබේ රුවේ බලේ පෑවාද පේ‍්‍රමේ අමා... 

ඩබ්.විල්ප‍්‍රඞ් සිල්වා ශූරීනන්ගේ ගේය පද රචනයෙන් හා ටී.ආර්.පාපා ගේ සංගීත නිර්මාණයෙන් එම ගිතය හැඩ වී ඇත.



සරමකුත් ඇඳගෙන ඉන්න මේ වයසක බුවාට මොන සිංදුද කියල හිතන්න පුළුවන් . ඇත්තෙන්ම ධර්මදාස වල්පොල ශූරින්ට අගෞරව නොවේවා. ඔහුගේ මියුරු හඩටත් වඩා ඉමිහිරි ලෙස මේ වැඩිහිටියා ඒ ගීතය ගායනා කළා. ඇත්තෙන්ම පිං අපට ඒ ගිතයෙන් එවන් රසයක් ලබා දුන්නාට. 


එවන් රස සාගරයක කිමිදෙන්නට වර්ම් ලැබූ භාග්‍යවන්තයින් ගෙන් කොටසක් 

පැරණි හංදි ගී තණුවකට අනුව සිරිසේන විමලවිරයන් විසින් රචනාකරන ලද එදවස ඒ.එම්.රාජා හා ජමුනා රානී යුවල විසින් ගයන ලද කරුණා රසයෙන් පිරි අතිශය ජනපි‍්‍රය ගීතයක් ...... 


පෙම් කැකුළ පීපී එන විට මහදේ.......

සිංහල සිනමාව හරහා අපි ගුවන් විදුලි ගීතයට ආව. අනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, හරහා පණ්ඩිත් අමරදේව ශූරීන් ගැයූ අමරණිය ගීතයන් ගයමින් ඉදිරියට චාරිකාව ඇදී ගියා. මේ අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන් එඞ්වඞ් ගැයූ මිහිරි ගීතයක විප‍්‍රයෝග ශෘංගාරය අපේ හදවතට දනවමින් ගීත ගායනයක යෙදෙන අපේ සොහායුරියක් හා සොහොයුරෙක්  

මේ ගයන්නේ රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ....... ගීතයයි


ආධුනික ගීත රචකයෙක් පද රචනා කළ ආධුනිකයෙක් විසින්ම තණු රචනා කළ ගීතයක් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කළා. එම ගීතය රාජ්‍ය සංගීත උළෙලේ වසරේ හොඳම ගීත රචනය, තණු නිර්මාණය හා ගායකයාට හිමි සම්මාන ති‍්‍රත්වයම දිනන්නට සමත් උනා. 

මේ තරම් සියුමැළිද කළුගල් සිතන්නටවත් බැරි නිසා ...... මම ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...... 

අපි පුරා පැය 3ක් තිස්සේ මෙම සංගීත චාරිකවෙ ඉදිරියට ඇදුනා. මොහිදීන් බෙග් සෝමතිලක ජයමහ, විකටර් රත්නායක, නන්දාමාලනී, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි, මර්වින් පෙරේරා, ගුණදාස කපුගේ, ක්ලැරන්ස් විජේවර්ධන, පසුකරමින් මාලනී බුලත්සිංහල දක්වාම පැමිණුනා. අප අතරමග දමා ආ අය බොහොමයි. නැවත දිනෙක මෙවන් සංගීත චාරිකාවක අත්දැකීමක් ලබන්නට අපට වාසානාව උදාකර ගන්නා දැඩි අදිටනින් මේ ව්‍යායාමය සාර්ථක කරගන්නට දායක වූ සැමට පිං දෙමින්  මේ බ්ලොග් සටහන මින් නිමා කරමු.

ගිනියම් මිහිමඩලට සිසිල් දිය පොදක්

‘‘  ගිනියම් මිහිමඩලට සිසිල් දිය පොදක් ’’

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ අනු සංවිධානයක් වෙච්ච   සොබාසවිය තරුණ සංවිධානයේ වාර්ෂික වැඩසටහනේ  මාර්තු මාසයේ 31 වෙනිදාට යොදාගෙන තිබුනෙ කිරිවත්තුඩුව තාරකාසෙවන මූලික කරගෙන ප‍්‍රජාව දැනුවත් කරන වැඩසටහනක්. 

                               ඒ වැඩසටහනේ තේමා පාඨය තමයි ‘‘ ගිනියම් මිහිමඩලට සිහිල් දිය පොදක් ’’ නොවැලැක්විය හැකිම හේතුවක් නිසා ඒ වැඩසටහන 2013 අපේ‍්‍රල් 06 වෙනිදට කල් ගියා.  තරුණ සංවිධානෙ කට්ටියට සහායට ළමා සමාජයත් සජන මිතුරනුත් ඉදිරියට ආව. ළමා සමාජයේ කට්ටියයි තරුණ සංවිධානෙ කට්ටියයි හරි හරියට වැඩ. ඇයි ප‍්‍රසංගයට පුහුණුවීම්. ඒ අස්සෙ විභාගෙත් ඇවිල්ල.ඒ මොන දේවල් තිබුනත් කට්ටිය පුදුමාකාර කැපවීමකින් වැඬේට බැස්ස. කට්ටියක් එම භූමියේ කෝපිකඩයක් නිර්මාණය කරනව. තවත් කට්ටියක් ආරාධනා පත‍්‍ර අරගෙන ගෙන් ගෙට යනව. තවත් කට්ටියක් පෝස්ටර් ලියනව. තවත් කට්ටියක් පෝස්ටර් ගහනව. හැමෝම හරිම උනන්දුවකින් වැඩ. මුළු ප‍්‍රසංගයේ වැඩිම බර කරට ගත්තෙ සොබාසවිය තරුණ සංවිධානෙ ලේකම් රවිඳු සඳරුවන්. සඳරුවන් තමයි ප‍්‍රසංගයේ බොහෝ අංගයන් පුහුණු කළේ.

                    අපේ ප‍්‍රසංගය පටන් ගන්න ගමේ ආරච්චි උන්නාන්සෙ එයාගෙ අතවැසිය වෙච්ච හෙන්චප්පුත් එක්ක එන කොට වෙලාව රාතී‍්‍ර 7.30 ත් පහු වෙලා.


අනේ හැබෑටම මෙහෙමත් හෙන්චෙක්. හෙන්චප්පු කුඬේ ඌටම ඉහළ ගෙන නොවැ. ආරච්චි උන්නාන්සෙට කේති ගිහින් වගේ. 

 මුලින්ම ඉතිං චාරිත්තරේට අනුව පහන් දල්වන්න එපායැ. 




කෝපි කඬේට නම් ජයයි වගේ 



වේදිකාවක් ඉදිකර තිබුනත් අපේ නළු නිළියො වේදිකාවෙන් බිමට බැහැල තමන්ගේ රැඟුම්  ජනතාව අතරටම ඇවිත් රඟන්න පටන් ගත්ත 


බොහෝ සම්පත් දෙවා මන්ද්‍රි  කුමරි හට දැන්.......හරින්දි සමග ශෂී 

හෙළ වේදිකා නාට්‍ය වංශයේ නොමැකෙන සටහන් තැබූ ගීතාවලියක් ඉදිරිපත් කරමින් වෙස්සන්තර නාඩගමේ ගීතයකට රංගනයක් ඉදිරිපත් කරද්දී.......

අපේ ළමා සමාජ සාමාජිකයෙක් රුසිරු රාජකපුරු වේදිකා නාට්‍යයේ ගීතයකට රංගනයක් ඉදිරිපත් කළා.



 සුවද සබන් ඇඟ ගාලා හායි හායි .........


කුණ්ඩලකේශී ගීත නාටකයේ එන අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා....... ගීතයට රංගනයේ යෙදෙන චාමර සහ භවන්ති


උත්තමවන් ලොව පතලා එංගලන්ත නමින් යුතු මෙකලා  ..... කඩුව ලෙල දෙවමින් රුපුන් හා සටනට යන ශෂී........


ලූෂන් බුලත්සිංහල ශූරීන්ගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ මඬේ ලගින තාරාවුන් නා වන්නද මං .......ගීතයට නව පණක් ලබා දෙමින් හසාරා සාර්ථක රංගනයක යෙදෙමින් 



දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ මධුර ජවනිකා නාට්‍යයේ නෙයිනගෙ සූදුව විරිඳුවට නගා රංගනයක දෙදෙන රවිඳු සහ සංජීවනී ........


මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්ගේ අමරණිය නිර්මාණයක් වූ මනමේ වේදිකා නාට්‍යයේ එන පේ‍්‍රමයෙන් මන රංජිතවේ නන්දිතවේ .......... ගීතයට අනුව රංගනයක යෙදෙන චාමර සහ භවන්ති 


සිරි සංඝබෝධි මාලිගාවේ දී මං......... සිරිසඟබෝ නාට්‍යයේ ගීතයකට රංගනයක යෙදෙන ශෂී 

මෙම ප‍්‍රසංගය විවිධ අංගයන්ගෙන් සමන්විත උනා. මේ කුඩා දැරියකගේ රංගනයක්. 
අපේ සාමාජිකයින් තමන්ගේ දක්ෂතාවයන් එළි දක්වමින් විවිධ අංගයන්ගෙන් මෙම ප‍්‍රසංගය වර්ණවත් කළා. ඒත් ඒ හැම අංගයකම රූ සටහන් මෙහි ඇතුළත් කරන්න බැහැනෙ. පාරිසරික වටිනාකමකින් යුත් වීඩියෝ දර්ශන හරහා ජනතාවට පාරිසරික පනිවුඩ ලබා දෙන ගමන් මිහිතල මිතුරෝ නිෂ්පාදනයක් ලෙස                               ‘‘ මිහිමඩලේ විලාපය ’’ වේදිකා නාට්‍යය වේදිකා ගත උනා. මේ පහත ඔබ දකින්නේ එම නාට්‍යයේ අවස්ථා කිහිපයක් 







අන්තිමට විවිධ රටවල් වලින් මෙතනට ගොඩ බැස්සෙ නැතෑ සුරූපිනියන්. දෙව්ලියන් වගේ. අපේ යෞවනයන් සුරූපිනියන් ලෙස සැරසිලා.හරිම අපුරුයි. විචිත‍්‍රවත්. ප්‍රෙක්ෂක ජනතාවත් එකට එකතු වෙලා රඟන්න පටන් ගත්ත. ඒ විදිහට අපේ ප‍්‍රසංගය නිමා උනා.

ඈත ගව් ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පා වෙලා ආ විලාසිතා ..... හාරිච්චි බෝරිච්චි .......

Friday, April 19, 2013

4 වන දප්පුල රජු හමුවී සීගිරි කාශ්‍යපයන්ගේ අප්සරාවන් සොයා ගිය ‘‘උරුමය සොයා’’ පාරිසරික චාරිකාවේ පසු සටහන

4 වන දප්පුල රජු හමුවී සීගිරි කාශ්‍යපයන්ගේ අප්සරාවන් සොයා ගිය ‘‘උරුමය සොයා’’ පාරිසරික චාරිකාවේ පසු සටහන                                       

අපේ බ්ලොග් අඩවියට පිවිසෙන අපේ සියළු හිතවතුන්ගෙන් සමාව ගන්න  ඕනි මුලින්ම. මේ තරම් කලක් පරක්කු උනාට චාරිකවේ පසු සටහන ලියන්න. ඇත්තටම පහුගිය දින ගෙවිල ගියෙ හරිම අවිවේකයෙන්. වැඩ ගොඩයි. ඒව තරමක් ලොකු වැඩ. 26 වෙනිද චාරිකාව ගිහින් ආපු ගමන් අපි සූදානම් උනේ ‘‘ගිනියම් මිහිමඩලට සිසිල් දිය පොදක්’’ පාරිසරික ප‍්‍රසංගයට.  ඒ ප‍්‍රසංගය පැවැත් වුනේ අපේ‍්‍රල් 06 වෙනිදා. ඊට පහුවෙනිදා ‘‘ ආනන්දයෙන් පඥාවට’’ සංගීත චාරිකාව. ඒ හැම එකක්ම දැන් අවසන්.  ඒවයෙ විස්තර ඔබට ගෙන එන්නත්  ඕනි. ඒ අතරෙ සිංහල  දෙමල අළුත් අවුරුද්දත් ආවා. කෙහොම හරි දැන් අපි ලියන්න පටන් ගන්නව. මේ සටහන් කියවල ඒ ගැන ඔබට දැනෙන දේ අපිට ලියා එවන්න අමතක කරන්නත් එපා.    

                   මාර්තු 26 වෙනිදා අපේ චාරිකාව අරඹන්න සූදානම් කරගෙන තිබුනෙ පාන්දර 4.00 ට . මේ චාරිකාවටත් ආපු බාධක නම් එමටයි. කී සැරයක් දින වෙනස් කරන්න උනාද? යන්න හිටපු දවස් වල ඒ පළාතට මදි නොකියන්න වැස්ස. මෙදා පාරනම් වැහිපිට වැහි දාක් වැස්සත් යනව කියල හිතාගෙන තමයි ගමනට සූදානම් උනේ. ඒත් මෙන්න චාරිකාවට දින දෙක තුනක් තියෙද්දි හවසට හවසට පටන් ගත්තෙ නැතෑ වැස්ස. ඒ විතරක්ද අපේ දරුවන්ට වාර විභාගය. විභාගෙ දාල එන්න බෑ කියල සමහරු කියන්න පටන් ගත්ත. ඒ මොනව උනත් මෙදා පාර චාරිකා දිනය වෙනස්  නොකරන්න සංවිධායක මංඩලය තදබල තීන්දුවක් අරං උන්නෙ.  පහුගිය ගිම්හාන  කඳවුරට දුම්බර කඳුවැටි තරණය කරගෙන බස් එකට සෑහෙන්න ඩැමේජ් කර ගත්තු පි‍්‍රයන්ත මහත්තය එයාගෙ බස් එක අරගෙන ආව. මුලින්ම අපි එයාට කිව්ව ‘‘මෙදා පාරත් පාඩුවට තමයි යන්න වෙන්නෙ යන්න හිටපු ගොඩක් අය යන්න බැහැ’’ කියනව කියල. අපේ වැඩ වලදි කට්ට කන්න වෙන බව දැන ගෙන පාඩු ලාභ නොබල මේ වැඬේට එන්න ඔහු කැමති උනේ ‘‘ මම දන්නව සර්ල හොඳ වැඩක් කරන බව ඒක හින්ද කමක් නෑ  ඕන දෙයක් . අපි යමු ’’ ඔහු කැමැත්තෙන්ම අපිත් එක්ක එකතු උනා.



මේ තමයි අපේ මාතලී ප‍්‍රියන්ත මහතා

26 වෙනිදා පාන්දර 4.45 ට විතර උනා චාරිකාව අරඹන් කොට. අපේ ගමන් වලදි කොහොමත් කට්ටිය නැති වෙන්නෙ නැහැ. කොහෙන් හරි අපේ කට්ටිය ගානට සෙට් වෙනව. මෙදා පාර කණ්ඩායමට අපේ ළමා සමාජය , තරුණ සංවිධානය සහ සජන මිතුරෝ වගේම අමුත්තන් කිහිප දෙනෙකුත් එකතු උනා. ඔක්කොම කට්ටිය 67 ක්. අපි හෝමාගම. හංවැල්ල, කිරිඳිවැල, පස්යාල හරහා දඹුල්ලට ඇවිත් එතැනින් අනුරාධපුර මාර්ගයේ මඩාටුගම හංදියට ආව. 

එතැනින් වමට තියෙන පාරෙ කිලෝමීටර් 10 ක් විතර ගියහම අපි ගල්කිරියාගම, රණව උල්පත්ගම ග‍්‍රාමයේ පිහිටි නාමල් උයන කරා පැමිණුනා. ඒ එන අතර මගදි අපේ අයට දැකගන්නට ලැබුන 4 වන දප්පුල රජු කාලයේ පිහිටවපු ටැම් ලිපියක්. මේ ප‍්‍රදේශය එකල මිනිස් අභය භූමියක්. ලෝකයේම මිනිස් අභය භූමියක් ගැන කියවෙන ඓතිහාසික සාක්ෂියක් හමුවන එකම ස්ථානය. ඒ හින්ද ඒ ටැම් ලිපිය කොයිතරම් වටිනවද? ඒත් එය ආරක්ෂා කරගන්න ඒ තරම් උනන්දුවක් තියෙන බවක් නම් පෙනුනෙ නෑ. 

මේ තමයි ඒ ටැම් ලිපිය



දැන් අපි ආසියාවේ විශාලතම නා  වනය ඉදිරියට ඇවිත්. එදාට වඩා ගොඩක් වෙනස් කම් සිදු වෙලා. එදා කිව්වෙ මෙහි ආරම්භක වකවානුව. අපි මුලින්ම මෙහාට ආවෙ 1991 දි. ඒ කියන්නෙ වනවාසී රාහුල හාමුදුරුවො නාමල් උයන ජාතියට හඳුන්වල දීපු මුල්ම වකවානුව. අද කොන්කී‍්‍රට් ගල් අතුරා මාර්ගය පිලිසකර කරල. 




වනවාසි රාහුල හිමියන් එදා කරපු ඒ අපරිමිත කැප කිරීම අපි අගය කළ යුතුයි. උන්වහන්සේ නොසිටින්න මේ ජාතික උරුමය විනාශවන්නට තිබුන මහා බාධක හමුවේ එය රැුක ගැනීම අති විශාල පිං කමක්.

 ‘‘ සර් හාමුරුවන්ව අඳුරනවද? ’‘  උදයංග ගෙන් ප‍්‍රශ්නයක්. 

‘‘ ඔව්  අපි ඒ දවස් වල යාළුවො. මෙහාට අපි නිතරම ආවා ගියා. ඒත් දැන් ගොඩක් කල්. අපිත් වයසට ගිහින් හාමුදුරුන්ට මතක නැතුව ඇති. මතක් කරල දෙන්න ගොඩක් දේවල් කතාකරන්න වෙයි ’’ මම උත්තර දුන්න.

වනවාසී රාහුල හිමියන් වැඩ වසන කුටිය ඈතින් පෙනෙනව. අපි උන්වහන්සේ හමුවන බලාපොරොත්තුවෙන් ඒ දෙසට හැරුණා. 

‘‘ ආ මහත්තයො ගොඩක් කාගෙකට පස්සෙ .....’’ රාහුල හිමියන් ගේ හඩ අවදි වුනා.   උන්වහන්සේට අපිව අමතකව ගොස් නැහැ.

‘‘ ඇත්තමයි හාමුදුරුවනේ මම හිතුවෙ මාව අඳුරගන්න එකක් නැතිවෙයි කියල. මගෙ නම නම් මතක නැතුව ඇති මම මුණගම’’

‘‘ ඇයි මට මතක නැත්තෙ මට මහත්තයව වගේම මහත්තයගෙ නමත් මතකයි. රාහුල හිමියන් පිළිතුරු දෙන්නේ මා ලජිජාවට පත් කරමිනි. 


දිගු  කළකට පසු හමුවී පැරණි මිතුදම සිහිවී ......... 

උන්වහන්සේ අපේ කණ්ඩායම නාමල් උයන හා රෝස තිරුවාණා නිධිය  පිළිබඳව මෙන්ම පරිසරය හා සොබාදහම සමග ජීවත්වීමේ වටිනාකම පිළිබඳව අපේ සාමාජිකයින් දැනුවත් කළා. 


වනවාසී රාහුල හිමියන් අපේ සාමාජිකයින් දැනුවත් කරමින් .....

අපේ කට්ටිය උන්වහන්සේ සමග සමූහ ඡුායා  රූපයකට ද පෙනී සිටියා.


නාමල් උයනේ ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ සමයේ සිට 8 වන සියවසේ 4 වන දප්පුල රාජසමය දක්වා දිවයයි. මෙම නා වන ස්වභාවිකව ඇතිවූ නා වනයක් නොව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඇති කරන ලද නා  වනයක් බවට තර්කාණුකූලව ඉතිහාසය හැදෑරීමේ දී පෙනීයයි.  නා වනය අක්කර 260 ක් පුරා විසිරී ඇති අතර මුළු වනාන්තරය අක්කර 2000 කටත් වඩා වැඩි වපරියකට හිමිකම් කියයි. මෙම බිමෙහි පැරණි විහාරාරාමයක් ද වූ බවට මෙහි ඉතිරිවී ඇති නෂ්ඨාවශේෂ සාක්ෂි දරයි. රෝස තිරුවානා නිධිය වසර මිලියන 550 කට එපිට ප‍්‍රාග් කේමිබ‍්‍රිය යුගයේ නිර්මාණය වූවක් ලෙස සැළකේ. අර්ධ මැණික් විශේෂයක් ලෙස සැළකෙන මෙම වටිනා නිධිය ඇතුළත් කඳු වැටියෙහි කඳ මුදුන් 7 ක් දැකිය හැකිය. 


එ දවස ටජ්මහල නිමවීම සඳා මෙම රෝස තිරුවානා ගෙන ගිය බවටද මතයක් ඇත. දුර්වර්ණ වෙමින් පැවතිය ද කැඞී බිඳි ගිය තැනෙක දම් පැහැයට හුරු රෝස පැහැය දිස්වෙයි.

චන්ඩ හිරු රැුස් අපේ ගත සිත දාහයෙන් දවාලයි. මේ හිරු මුදුන් වෙමින් පැවති වේලාවයි. කඳු පාමුල තම සිඟිති බිළිඳා ද රැුගෙන අනෙකුත් දරුවන්ගේ ද සහායෙන් සිය දිවි සරි කරගන්නට වෙහෙසෙන මාතාවක් කුඩා වෙලද‘ සැලක් පවත්වා ගෙන යයි. බෙලි මල්, සිසිල් දොඩම්, ආදිය ඈ එහි අලෙවි කරයි. අපි සිසිල් දොඩම් පානය කළෙමු. බෙලිමල් ද බීවෙමු. 




දහවල් 1 .00 ට පමණ  අපි නාමල් උයනෙන් සමුගත්තේ කාශ්‍යපයන් ගේ ආලකමන්දාවට ගොස් ඒ අතීතය සිරි විසිතුරු සිත් සේ විඳගැනීමේ රිසියෙනි. 



සීගිරිය  5 වන සියවසේ සිරිලක උද්‍යාන නිර්මාණයේ කැඩපතකි. මෙය ලෝකයේ එවන් නිර්මාණ අතර අද්විතීය නිමැවුමකි. ස්වභාවික පරිසරයේ ඇති සම්පත් නොකෙළසමින් ඒවා තම නිර්මාණය උදෙසා උපයෝගි කර ගෙන ඇති ආකාරය නූතන මිනිසාට ගැසූ අතුල් පහරකි. වෘක්ෂ උද්‍යානය, ජල උද්‍යානය හා ශිලා උද්‍යානය යන උද්‍යාන ති‍්‍රත්වයෙන් මෙම උද්‍යානය සමන්විතය. 

මෙහි ඇති ජල මල් වසර දෙදහසකටත් වඩා කල් ගියද අදටත් සකි‍්‍රයව පවතී


නයි පෙණ ගුහාව සොබාදහමේ සුන්දර නිමැවුමකි



නයි පෙණ ගුහාවේ ශේෂව පවතින සිතුවම් 



තවත් එවැනිම ශේෂව පවතින සිතුවම් සහිත ගුහාවක් 



ශිලා උද්‍යානය වර්ණවත් කරමින් මේ ස්වභාවික ගල් ආරුක්කුව මැදින් ඉහළට දිවෙන පිය ගැට පෙළ එදා කසුප් නිරිඳුන්ගේ දෙපා සිප ගන්නට ඇති



දුටු දුටු දනන් නෙත් සිත් වශිකරවන සුරූපී සීගිරි ලලනාවියන් තවමත් සිගිරි පර්වත ප‍්‍රාන්තයේ අප එන මග බලමින් නොසැලී සිටියි 




සීගිරි නැරඹු දනෝ සීගිරි සුරූපිනියන්ගේ දේහ විලාශයෙන් ද  මන්මත් කරවන ඔමරි බැල්මෙන් ද වශිකෘතව ගී දහස් ගණනක් ලියු කැඩපත් පවුර ප‍්‍රතාපවත් ලෙස නොසැලි බලා සිටියි

සීගිරි පර්වත මුදුනෙහි සිය වාසභවනය සාදා ප‍්‍රතාපවත් මහා රජකු ලෙස රාජ්‍ය විචාරා පීතෘ ඝාතකයකු වීමේ මනස්තාපය නිවා ගනිමින් දිවි ගෙවු කසුප් රජු අවසන සිය කගින් සිය ගෙල සිද ගෙන සතුරා අබිමුව වීරවරයෙක් ලෙස සිය දිවි ගමන නිමා කළ නමුත් වසර දෙදහසකට පසුව වුවද ලෝවැසි දනන් සීගිරියට පැමින ඒ අභිමානවත් මිනිසා ලොවට දායාද කළ මේ මහා කළා නිර්මාණය නරඹති. ඒ කිසිවෙක් කිසි විටෙකත් සීගිරි කාශ්‍යපයන්ට සිහිනෙනුදු වෛර නොකරති. ඒ කළාකාමී සුන්දර ප‍්‍රතාපවත් මිනිසා සදා කල් මානව හදවත් තුළ ජීවත්වනු ඇත. සිගිරිය පවතින තුරාවටම ඔහුද ජීවමානවම ජීවත්වනු  ඇත.


නිරිඳුනි මේ මහ සීගිරි කූටය ඔබේ උදාරවු උරමඩලයි ඔබේ නාමයට නැගූ විජය ටැඹ කලා භවන මේ පර්වතයයි

Tuesday, April 9, 2013

බුවනෙකබා පරිසර නියමුවන් සමග රාතී‍්‍ර කඳවුරු අත්දැකීම, ‘‘උරුමය සොයා ’’පාරිසරික සහ සංස්කෘතික චාරිකාව, ‘‘ගිනියම් මිහිමඩලට සිසිලූ දිය පොදක් ’’ පාරිසරික ප‍්‍රසංගය, ‘‘ ආනන්දයෙන් පඥාවට’’ සංගීත චාරිකාව

  • බුවනෙකබා පරිසර නියමුවන් සමග රාතී‍්‍ර කඳවුරු අත්දැකීම,  
  • ‘‘උරුමය සොයා ’’පාරිසරික සහ සංස්කෘතික චාරිකාව,
  • ‘‘ගිනියම් මිහිමඩලට සිසිලූ දිය පොදක් ’’ පාරිසරික ප‍්‍රසංගය,     
  • ‘‘ ආනන්දයෙන් පඥාවට’’ සංගීත චාරිකාව 

                                                                                                                                                                                                හිතවත් මිතුරනි,
පසුගිය දවස් ගෙවිල ගියෙ හරිම අවිවේකයෙන්. ඒ කරමට වැඩ. එක වැඩක් ඉවර වෙනවත් එක්කම තවත් වැඩකට සූදානම් වෙනව. ඒ හින්දනම අපේ තොරතුරු බ්ලොග් අඩවියෙන් අපේ යාළුවන් එක්ක බෙදා ගන්නත් බැරි උනා. අපි දැන් ටිකක් කථා කරමු. මාර්තු මාසෙ 20 සහ 21 දෙදින පාරිසරක කඳවුර ගැන මුලින්ම කථා කරමු.             

 මහරගම බුවනෙකබා මහ විදුහලේ පරිසර නියමුවන් මැදින් මහේ 20 වෙනිද හිරු නැගෙන්නට ආසන්න වෙමින් පවතින මොහොතේ අරුණළුත් සමගම අපේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට පැමිනියා. පරිසර නියමු වැඩසටහන භාර දමයන්ති ගුණතිලක ගුරු තුමියගේ මග පෙන්වීම යටතේ් අසෝක සරත් කුමාර ගුරු තුමාත් , දෙමව්පියන් සහ පරිසර නියමුවන් කඳවුරට සහභාගිවෙන්න පැමිනියා. පළමුවෙන්ම කඳවුරු ජීවිතය හා එහි විනය පිළිබඳව කෙටි හැඳන්න්‍වීමකින් පස්සෙ කණ්ඩායම් ගත කිරීමත් කූඩාරම් ගැසීමත් සිදු උනා.        කොඩිගහකන්දේ ජෛව විවිධත්ව අධ්‍යයනය සඳහා කණ්ඩායම පිටත් වෙන කොට උදෑසන 8 ත් පහු වෙලා. වනාන්තර අත්දැකීම් වගේම පාරිසරික වික‍්‍රමාන්විත කි‍්‍රයාවන්ගෙන් සපිරි වනගත චාරිකාවට නම් හැමෝම හරිම උනන්දුවකින් වගේම සතුටකින් සහභාගි උනා.   මේ එම චාරිකාවේ සේයා සටහන් කිහිපයක්         

                              අධ්‍යයන චාරිකාව අරඹමින් ............          

        හෙල ගැඹුරුයි බලාගෙනයි.... අනතුරු දායක නමුත් ජීවිතයට අභියෝගයක් පාරිසරික වික‍්‍රමාන්විත කි‍්‍රයා.....

දමයන්ති ගුරු මහත්මියත් අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්......

ඈතින් පෙනෙන ඉන්දියන් සාගරයත් කොළඹ නගරයේ උස් ගොඩනැගිලිත් නරඹමින් හාත්පස අයස්කාන්ත දර්ශනයෙන් වශිකෘතව.....


කොඩිගහකන්දේ ඉහළම ස්ථානයට බාධක මැදින් සේන්දු වෙමින් .........

වනාන්තරයේ අත්දැකීම් රිසි සේ විඳගත් පරිසර නියමුවන් හැන්දෑවෙ වයිල්ඞ් රීච් සංවිධානයේ සචින්ත මහතා විසින් සජීවී නිදර්ශක ද යොදා ගනිම්න් පැවැත්වූ ශී‍්‍ර ලංකාවේ සර්පයින් වැඩසටහනට සහභාගි උනා. මේ ඔවුන් සුදානම් වන්නේ රාතී‍්‍ර කඳවුරු අත්දැකීම විඳ ගන්නයි.
හැන්දෑ කළුවරත් එක්ක තම කඳවුරු බිම ආලෝතමත් කරමින් .............
රාතී‍්‍ර කඳවුරක උත්කර්ශයත්ම අවස්ථාව ගිනිමැල සංදර්ශනයයි. ගිනි මැලය දැල්වෙමින් ............

පරිසර පතිඥාව ලබා දෙමින්......... 


ගිනිමැල සංදර්ශනය නරඹන්නට පැමිණි අවට ගම්වාසීන්ගෙන් කොටසක් .......

සංදර්ශනයේ අවස්ථාවක් .........
  • ‘‘උරුමය සොයා ’’පාරිසරික සහ සංස්කෘතික චාරිකාව,
  • ‘‘ගිනියම් මිහිමඩලට සිසිලූ දිය පොදක් ’’ පාරිසරික ප‍්‍රසංගය,     
  • ‘‘ ආනන්දයෙන් පඥාවට’’ සංගීත චාරිකාව  පිළිබඳව නොපමාව ඔබට තොරතුරු කියන්න අපි එනවාමයි.