Tuesday, May 14, 2013

මිනිසා සහ සොබාදහමේ සොඳුරු සබැඳියාව සොයා ගිය පාරිසරික සැරිය............

මිනිසා සහ සොබාදහමේ සොඳුරු සබැඳියාව සොයා ගිය පාරිසරික සැරිය............


මෙවර අපේ පාරිසරික සැරියේ තේමාව උනේ මිනිසා සහ සොබාදහම අතර ඇති සැබැඳියාවයි. වෙනසක් සඳහා පාරිසරිකයෝ ''Green 4 change" සංවිධානය තමයි මේ සැරිය, තේරෙන භාෂාවෙන් කියනවනම්  Hike   එක සංවිධානය කළේ. Green 4 change සංවිධානයයි  මිහිතල මිතුරෝ සංවිධානයයි   අතරෙ තියෙන්නෙ සහෝදරාත්මක සබැඳියාවක්. මිහිතල මිතුරෝ සංවිධානය වෙනුවෙන් මම (කරුණාදාස මුණගම/ සභාපති) සචිත්, උදයංග සහ විකුම් සහභාගි උනා. පළමුවෙන්ම අපිට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලැබුන.ඒ අනුව අපි  හොඳින් සූදානම් උනා.මේ අපේ සැරියට ලබා දුන් උපදෙස් 



ගමනට පෙර සපයා ගත යුතු අත්‍යවශ්‍ය උපකරණ ගැනත් පිරිස දැනුවත් කරන්න මෙම සැරියෙ ප‍්‍රධාන සම්බන්ධීකාරක මංජුල ප‍්‍රසාද් සොහොයුරා කටයුතු කරල තිබුන.



Hike එකේදි හැකිතාක් නිහඩතාවය රැකීම අත්‍යවශයයි. සමහර අවස්ථාවන් හිදි කෙඳිරිලි හඩින් පමණයි  කථාකරන්න පුළුවන්. අන්න ඒ හින්ද  එකේදි පාවිච්චි කෙරෙන සඥා පිළිබඳවත් පූර්ව දැනුවත් කිරීමක් කරල තිබුන.
 මේ එම සංඥා සිතියම



අපේ සැරියේ එක් ප‍්‍රධාන අරමුණක් ජෛව විවිධත්වය නිරීක්ෂණය හා අධ්‍යයනයයි. ඒ නිසාම මෙම අධ්‍යයනයේ ක‍්‍රමවේදයන් පිළිබඳවත් එහිදී අනුගමනය කරනු ලබන උපදෙස් පිළිබඳවත් ගමන් සගයින්ව කල් අතුව  දැනුවත් කළා.






ජීවිතයේ අතිශයින්ම කළාතුරකින් අත්විඳින්න ලැබෙන මේ අපූර්ව පාරිසරික අත්දැකීම ලබා ගන්න නොතිත් ආශාවෙන් පෙළුන අපි  මැයි 2 වන දා රාතී‍්‍ර  කොළඹ පිටකොටුවෙ බැස්ටියන් බස් නැවතුම් පළට ගියේ පානම බලා යන බස් රථයක් අල්ල ගන්න බලාපොරොත්තුවෙන්. ඒත් පානමට බස් නැහැ. ඒ හින්ද අපි රාතී‍්‍ර 11 ට අම්පාර බලා පිටත්වෙන අර්ධ සුඛෝපභෝගී (ඒ බස් විතරමයි තියෙන්නෙ) බසයකට ගොඩ උනා. ඒක මහනුවර, හුන්නස්ගිරිය, මහියංගනය, පදියතලාව, මහඔය හරහා අම්පාරට ලඟාවෙන කොට උදේ 7.30 ට විතර උනා. ඇත්තෙන්ම දුකයි මේ මාවතේ රාතී‍්‍රයේ එන්න වීම පිළිබඳව. දුම්බර කඳුවැටි නරඹමින් ඒ සුන්දර පරිසරය විඳගනිමින් දහඅට වංගු හරහා දිවා කාලයක තමයි එන්න  ඕනැ. ඉතිං මූහුන කට හෝද ගෙන උදේ පාතරසයෙන් සප්පායම් වෙන්නත් එපායැ. අපි හෝටලයකට ගොඩ වැදුන. ඇත්තෙන්ම අගය කරන්න වටිනව. හරිම පිරිසිඳුයි. අපේ ශාරීරීක අවශ්‍යතා පිරිමහ ගෙන උදේට ඉඳි ආප්ප කෑව. ගානත් හරිම සාධාරණයි. අපේ ඊලඟ අරමුණ ආරුගම්බේ මුහුදු වෙරළ නරඹන්න.  අක්කරපත්තුවට ඇවිත් එතැනින් පොතුවිල් වලට ආව. රු.200 ක් දිල එතැන්සිට ආරුගම්බේට ආව. කියල වැඩක් නෑ. ඇත්තෙන්ම තද නිල් පැහැයෙන් දිදුලන ආරුගම්බේ සාගර කොමලියගෙ හැඩකාරකම කොහොම විස්තර කරන්නද මන්ද? 



සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එහි යන එන සංචාරකයින් දැනුවත් කරන්න දැන්වීම් පුවරු සවි කරල තිබුන. ඇත්තෙන්ම එම වෙරළ තීරය අපේ මානවයින්ගෙ දුෂණයෙන් ගැලවිලා තිබුන. මෙවන් සොඳරු තැන් නැගෙනහිර වෙරළ තීරයේ  ඕනෑ තරම්. අපි රටක් විදිහට ඇත්තෙන්ම කොයිතරම් වාසනාවන්තද? ඒත් මේ සොබාදහමේ අපූරු නිමැවුම් ධන වැද්දන්ගෙ මුදල් නැමැති සර්වබලධාරියගේ අසීමිත බලයෙන් වැනසීයාමේ අවදානමකුත් පවතින බව අපි තේරුම් ගත යුතුයි. මේ ආරුගම්බේ සුරූපිනිය අද හරිම නිහඩයි. නිසලයි. හෙමින් හෙමින් ලතාවකට දිය රැුළි නංවමින් ඇගේ රූ සිරි  ඉදිරියේ අප  මෝහනයට පත් උනා. ඇය මදහස පාමින් අප හා හාද උනා. 




ඇගේ රූසිරියෙන් මන් මත් වු අපට ඇය දමා නොඑන්නටමයි හිත. ඒත් සවස 2 වෙන කොට පාරට ආ යුතුයි. නැත්නම් පානම බස් එක අල්ල ගන්න බැරි වෙනව. වෙන්ව යාමේ ශෝකය දරා ගෙනම ඇයට සමු දුන් අපි පානම බලා යන බස් රථයට ගොඩ උනා. ඒ බසය මොණරාගල සිට සියඹළාංඩුව,පොතුවිල් හරහා පානම බලා යන බස් රථයක්. පානම කියන්නෙ අපේ රටේ නැගෙනහිර වෙරළ තිරයේ තියෙන අවසන් ගම්මානය. එහි බහුතරයක් සිංහළ. දෙමළ ජනයාත් ඔවුන් සමග සමගියෙන් ජීවත් වෙනව. අපි කණ්ඩායම එකතුවෙන මධ්‍යස්ථානය තමයි පානම ශී‍්‍ර බෝධි රුක්ඛාරාමය.
ශී‍්‍ර බෝධි රුක්ඛාරාමයේ නායක හාමුදුරුවො තමයි පානම ශී‍්‍ර චන්ද්‍රරතන හිමිපාණන්. අපි උන්වහන්සේ සමග ටිකක් දොඩමළු උනා. පංසලට අයිති ඉඩම් අක්කර 300 ක් විතර කිසිම දැනුම් දිමකින් තොරව හෝටල් ව්‍යාපෘතියක් සඳහා පවරාගෙන ඇති බවත් ඒ සඳහා මේ දිනවල වෙහෙසෙන බවත් අපට දැනගන්නට ලැබුන. එහෙම දෙයක් කරනව නම් පළමුව ඉඩම අයිති පාර්ශ්වයට දැනුම්දිය යුතුයි. මේක බලහත්කාර කමක්. ඒත් රටේ තියෙන්නෙ කැලෑ නිතියද කියලත් වෙලාවකට හිතෙනව. අනෙක ඒ ඉඩම්වල ගමේ අහිංසක ගොවියො ගොවිතැන් බත් කරල තමන්ගෙ ජිවිතය ගැට ගහගෙන තියෙන්නෙ. පසුගිය යුද්ධ කාලෙ අනේක විධ දුක් කරදර මැද මෙම බිම්වල ජීවත් උන ජනයාට ආංඩුව සළකන්නෙ මෙහෙමද කියන එකයි උන්වහන්සේට තිබුන ප‍්‍රශ්නය. රට නිදහස් කර ගත්ත කිව්වට පානම ජනයාට සිද්ධ වෙලා තියෙන්නෙ කබලෙන් ලිපට වැටෙන්න. 
3 වන දා හවස් වෙන කොට අපට ආරංචි උනා අපේ පළාත්වලට 2 වන දා රාතී‍්‍රයේ සිට මහ වැසි නොකඩවා ඇද හැලෙන බව. අපේ සැරියට සහභාගිවෙන්න එන අයටත් වැස්සෙන් බාධා එල්ල වෙලා. කට්ටියක් කෑගල්ලෙ සිට තී‍්‍රවලර් එකකින් ඇවිත් මග වැරදිලා ආපහු හැරිල. කොහොම කොහොම හරි රැ 7 විතර වෙන කොට කණ්ඩායම එකතු උනා. ඔක්කොම 19 යි. සැරියකට මේ පිරිස ටිකක් වැඩියි. අපි රැම අපේ සැරියෙ නවාතැන් පොළ වෙතට ලඟාවෙන්න තීරණය කළා.  රැ වෙලා හින්ද පා ගමනින් යන්න අමාරුයි ඩිමෝ බට්ටෙක් ගෙන්න ගෙන පානම කුඩුම්බිගල අභය භූමියේ වෙහෙරගල ගණදෙවි කෝවිල ගාවට ගියා.

නුහුරු නුපුරුදු පරිසරයක තිත්ත කළුවරේ අලි කොටි වලසුන්ගෙන් ගහන මහ කැලෑවක ගල්පර්වතයක් මුදුනට  නගින්න පටන් ගත්ත. කවුරුවත් කථාවක් බහක් නැහැ. උපදෙස් ලැබිල තිබුනෙ විදුලි පන්දම පත්තු කරන්න එපා කියල. මොකද ඒක අනතුරු දායක නිසා. පර්වතයේ මුදුනට නැගල අනෙක් පැත්තට බහින්න හැදුව විතරයි අමුතු ශබ්ද්ධයක්. අපිව බිරාන්ත වෙලා ගියා. ඒ සද්දන්තයගේ හඩ. ඒකත් කෝපයෙන් පිට වෙච්ච හඩක්. අපි එතැනම නැවතුනා. නිහඩව වාඩිවෙලා බලා හිටිය. ''ඒ තමයි දළයා. ඌ ටිකක් දරුණුයි'' ප‍්‍රසාද් සොහොයුරා කෙඳුරුවා.
කට්ටියම වෙන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව වාඩිවෙච්ච තැන්වලටම වෙලා ගුලි ගැහිල ඉන්න අතරේ මෙහෙම ගමන් ඇවිල්ල පළපුරුද්දක් තියෙන කණ්ඩායමේ නායකයා ප‍්‍රසාද් සොහොයුරාත් එක්ක ආසිරි සහ ලූවි අවට නිරික්ෂණයට පිටත් උනා. ටික වෙලාවකින් සඥාවක් ආව ඉන්න තැන් වලින් නැගිටල ඉදිරියට ඇදෙන්න. හැබැයි විදුලි පන්දම් පත්තුකරන්නෙ නැතුව. අපේ කඳවුරු බිම ගල් පර්වතයේ බටහිර පැත්තෙ මුදුනක්. දැන්නම් භය වෙන්න කාරණාවක් නැහැ වගේ අපි කඳවුරේ කූඩාරම් සවි කරන අතරෙ තව කට්ටියක් උයන්න පටන් ගත්ත. රැට නූඞ්ල්ස්. කෝකියො ටික නං හැබැම දක්ෂයි. තියෙන අවම සම්පත් පාවිච්චි කරල රසවත් කැමක් හරි ඉක්මනට හැදුව. බඩ පිරෙන්න කෑව.  අපේ සැරිය කි‍්‍රයාත්මක වෙන හැටි කෙටියෙන් ප‍්‍රසාද් සොයුරා කෙඳිරිලි හඩින් කියා දුන්න. දැන් වෙලාව මහ රැ 11 ට විතර ඇති මේ සූදානම රාතී‍්‍ර නිරීක්ෂ චාරිකාව(Night Watch) පිටත් වෙන්න.

අපි ඔක්කොම කණ්ඩායම් 4 කට වෙන් උනා. ඉදිරි පෙළ 3 දෙනෙක් පළ පුරුද්ද ඇති අය. ඊට පස්සෙ 2 හා 3 කණ්ඩායම්. අන්තිමට පිටුපසින්ම එන තවත් පළපුරුදු අයගෙන් සමන්විත 3 දෙනෙක්. දැන් අපිට විදුලි පන්දම් දල්වන්න අවසර ලැබුන. කැලේ උනාට යන්නෙ පානම සිට ඔකඳ දක්වා ඇති  මහා මාර්ගය දිගේ. ඉදිරි පෙළේම යන ප‍්‍රසාද්ලගෙන් සඥාවක්. ඉක්මනින් එතැනට ගියා.දැවැන්ත ඉත්තැවෙක්. " මගෙ ජීවිතේට දැක්ක ලොකුම ඉත්තෑව"ප‍්‍රසාද් සොයුරා කිව්ව. පාර හරහා පැන යන හාවුන් නම් සුලබ දසුනක්.රැ 2 විතර වෙනකම් රාතී‍්‍ර නිරීක්ෂණ චාරිකාවෙ යෙදුන. ප‍්‍රසාද් සොයුරා ගල්පර්වතයේ පහළ තැනකදී පුංචි කුරුල්ලෙක් අල්ල ගත්ත. ඌ බිම් බස්සෙක්( Night Jar) ඊයෙ රාතී‍්‍රයත් නිදි මරල හිටියෙ. අපි අළුයම 2.30 ට විතර නින්දට ගියා. උදේ 5.30 ට විතර ඇහැරුණා. ප‍්‍රසාද් සොයුරා ඒ වෙන කොටත් කුරුල්ලන් නරඹමින් හිටියෙ.    ‘‘ කුරුළු පරාදීසයේ කුරුළු සිනහ සාගරේ ඔබ හා විසුමට එන්නෙමි කුරුළු සුරපුරේ.....’’ සිව්දෙසින් ඇහෙන්නෙකුරුළු ගීතිකාවන්. උදයංග අපිට කුරුල්ලන් පෙන්වමින් උන් ගැන විස්තර කරන්න පටන් ගත්ත. 

අපි ඉන්නෙ කුඩුම්බිගල - පානම අභයභූමියේ වෙහෙරගල ගනදෙවි කෝවිල ආසන්නයේ තියෙන වෙහෙරගල ගල් පර්වතය මුදුනෙ. අපි විමසිලිමත් උනා. මෙය පැරණි බෞද්ධ ආරාම සංකීර්ණයක්. නමින්ම කියවෙන පරිදි පර්වතය මුදුනේ වෙහෙරක් තිබූ බවට සාක්ෂි  ඕනතරම්.




පැරණි ආරාම සංකීර්ණයක් තිබූ බවට සාක්ෂි

දෙවන දිනය මැයි 4 වන දා කණ්ඩායමට අවශ්‍ය කරන උපදෙස් ලබා දුන්නා. 

සැරිය සාර්ථක කරගන්නට ඇවැසි උපදෙස් වලට සවන් දෙමින්.........


කණ්ඩායමට සාර්ථක සැරියක් සඳහා ඇවැසි උපදෙස් ලබා දෙන                                  ප‍්‍රධාන නියමු ප‍්‍රසාද් සොහොයුරා


නැවුම් දිනෙක සාර්ථක සැරියක් අපේක්ෂාවෙන් කණ්ඩායම                                        ඉදිරියට ඇදෙමින් ..........

හෙළ ගැඹුරුයි බලාගෙනයි........


සුන්දර වන මල් වගේම ඒවා අතර රඟන සමනළුනුත් අපේ සිත් පහන් කළා. 




අපි කණ්ඩායම පානම කලපුව හරහා වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් ඉදිරියට ඇදුනාපානමට තියෙන්නෙ විසල් වෙරළ තීරයක්. අද නම් මහ සයුර දරුණු වෙලා. හරිම ප‍්‍රචන්ඩයි. ඒත් සයුරේ බැස, නැගෙන බිඳෙන රළ හා ඔට්ටු වෙමින් කරදියෙන් සැනහෙන්න අපි අමතක කළේ නැහැ.

බැස පානම සයුරේ පීන පීන නාමුකෝ මලේ...........

නැවත කලපුව හරහා පැමිනෙන අපට කලපුව එහා ඉවුරේ සද්දන්තයින් දෙදෙනෙකු වැවෙහි සරුවට වැඩුන බෙරු නම් තෘණ විශේෂයක් බුදිමින් සිටින අපූරුව දැකගන්න ලැබුනා. අපේ කැමරා දුර්වල නිසාම ඒ දසුන් ඔබට ගෙන එන්නට නොහැකිවිම කණගාටුවක්.අපේ අද දවසේ ඉලක්කය වෙහෙරගල වැව් පිටියයි. ඒ සඳහා තවත් කිලෝමීටර් 10 ක් දොළහක් ඉදිරියට යායුතුයි. චණ්ඩ හිරු තාපය නිබඳවම ගත දවාලයි. එබැවින් මේ අප සැරිසරන පෙදෙස ගැන යමක් කථාකරන්න හොඳම මොහොතයැයි සිතමි. 

අපි සැරිසරන ප‍්‍රදේශය පානම-කුඩුම්බිගල අභය භූමියයි. එය පරිපාලන වශයෙන් අම්පාර දිස්ති‍්‍රක්කයට අයත්වේ.කුඩුම්බිගල අභය භුමියක් මෙන්ම කි‍්‍ර .පූ. 246 දක්වා ඉතිහාසයකට නෑකම් කියන පුරා විද්‍යා වටිනාකමක් සහිත බිමක්. එය වර්තමානයේ වන සෙනසුනක්. බවුන් වඩන භික්ෂුන් නිවන්මගට මග හෙළිකරන පිං බිමක් .


සිත් පහන් හැඟුමින් නිවාලන කුඩුම්බිගල වන සෙනසුන

කුඩුම්බිගල යනු දේවානම්පියතිස්ස රාජ සමයතෙක් ඉතිහාසය දිවයන බෞද්ධ වන සෙනසුනක්. නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදී බවුන් වඩන්නට කැමති භික්ෂුන්වෙනුවෙන් වෙන්වූ මෙය 200 කට ආසන්න ලෙන් විහාරයන්ගෙන් සමන්විතය. 

අභය බිමෙත්  අභයක් නැති ඇතානෝ 
ඇත්තෙන්ම මේ ඉන්නෙ ඇතෙක් නම් නෙමෙයි අලියෙක් 

 අම්පාර දිස්ති‍්‍රක්කයට අයත් හෙක්ටයාර 19,000 ක භුමියක් වසා පැතිර පවතින කුමන වෙරළ තීරය ආරක්ෂිත කලාප දෙකකින් සමන්විතය. නැගෙනහිර යාල වනෝද්‍යානය හා පානම - කුඩුම්බිගල අභය භුමිය එම කලාපයන් දෙකයි. 2004 වසරේ දී කුමන රැම්සාර් තෙත්බිමක් ලෙස නම් කළ අතර එය දෙවැනි වන්නේ 2013 පෙබරවාරියේ රැම්සාර් තෙත්බිමක් බවට ප‍්‍රකාශයට පත් කළ විල්පත්තුවට පමණි. කුමන සිරිලක කුරුළු පාරාදීසය ලෙසද හඳුන්වනු ලැබේ. අපේ සැරියට කුමන අයත් නොවේ. අපි මේ ගමන් කරමින් සිටින්නේ වෙහෙරගල වැව් පිටිය සොයාගෙනයි. පළු, වීර, කෝන්, එරමිණියා වැනි රසවත් පළතුරු බුදිමින් යන ගමන වෙහෙසකර උනේ නැහැ.හිරු අවරගිරෙහි සැඟවෙන්නට සමීපවෙමින් පැවතුන වේලාවෙහි අපි වෙහෙරගල වැව්පිටිය වෙතට ලඟා උනා. මෙම ප‍්‍රදේශය දඩයක්කරුවන්ගේ ගොදුරු බිමක් බවට පත්ව ඇති වගක් අසන්නට ලැබුනා. එබැවින් තරමක දෙගිඩියාවක් ඇති උනා. මේ ඔබ දකින්නේ එම වැව් පිටියයි.


මේ වැවිපිටියයි. වැව් බැම්ම කැඞී ඇති හෙයින් මේ වැව අකි‍්‍රය වි ඇත. ඇතින් පෙනෙන්නේ කුඩුම්බිගල වන සෙනසුනයි.

අනුර ප‍්‍රධාන කෝකියා වැවට බැහැල  ඕළු දඩු නෙගාගත්ත. ඉක්මනින් කූඩාරම් ගහල කඳවුරු බිම සකස් කර ගත්ත. 



ලොකුම ගැටළුව වතුර. මොනව කරන්නත් තියෙන්නෙ වැවේ ඉතිරිවෙලා තියෙන වතුර ටික විතරයි.

 ඕළු මල් පිපී දිලෙන මේ බොර පැහැ වැව් දිය අපේ සියළු ජල අවශ්‍යතා ඉටු කරන්නට සමත් උනා.........

වැවේ වතුර ගෙනත් ලේන්සුවකින් පෙරල අරගෙන තේ වඩියක් හැදුව ඉඟුරුත් දාල. දිවිය ලෝක රහයි. පෑලදිග අහස රත් පැහැ වෙලා. සොඳුරු හැඩකාර අහස් කුස චමත්කාර ජනක කවි සිතිවිලි වලින් හදවත් පුරවා දමන්නට සමත් උනා.


හිරු මිය යන හැන්දෑවේ.......
කුඩුම්බිගල වන සෙනසුන 
පෙනෙන මානයේ සිට 
සිත දැහැන් ගත වෙයි. 
ඒ සොඳුරු සොබාදම් සිත්තරා .......
අහසෙහි සිත්තම් කළ 
අපූරු සිත්තම
 හද පැහැරගත් නිසාවෙනි 

රාතී‍්‍රයේ නිසල බව බිඳිමින් බකමූණකුගේ හඩ ඇසෙයි. කිසිදු එළියක් නොමැතිව අඳුරෙහි අවට නිරීක්ෂණය කරමින් හුන් අපව තැති ගන්වමින් ඉතා ආසන්නයෙන්ම වෙඩිහඩක් ඇසුනි. ඒ නියත වශයෙන්ම මස් රසට ගිජු නොමිනිසකුගේ කි‍්‍රයාවකි. මේ නිසල වැව්පිටිය දඩයක් කරුවන්ට තෝතැන්නක් බව අපි මුලින්ම කීවේද ඒනිසාය. අපි හිතුවාටත් වඩා තත්වය භ්‍යානකය. ඔවුන් අප සිටින මානය ආසන්නයේම සිටිය යුතුය. ඉතාමත් සැළකිල්ලෙන් රාත‍්‍රිය ගත කළ යුතුය. රාතී‍්‍ර පාරිසරික නිරීක්ෂන චාරිකාව අවලංගු කළේ දඩයක් කරුගේ තුවක්කුව  විශ්වාස කළ නොහැකි නිසාය. රාතී‍්‍රය කඳවුරු බිමේ හැම පැත්තටම ආරක්ෂක විධි විධාන යොදවා හැමදෙනාම සිය වගකීම් භාර ගත්ත. අවට වැව් පිටියට වලසුන්, වල් ඌරන්, මුවන් පැමිණ නිදහසේ සැරි සරයි. එහෙත් වැරදිලා හෝ විදුලි පන්දමක් හෝ දැල්විම මුළුමනින්ම තහනම්ය. ඒ අපේම ආරක්ෂාවට ගත් පියවරකි. කිසිදු අතුරු ආන්තරාවකින් තොරව  මැයි 5 වන දා උදාවිය.

වැව් පිටියේ හරිම අපූරු සිදුවීමක් නිහඩවම සිදුවෙමින් පැවතුනි. කිරලා තම දරුවන්ට ඇත්තේ පුදුමාකාර ආදරයක් බවද අහස කඩා වැටේයැයි  බියෙන් කකුල් උඩට හරවා බිත්තර රකිනා බවද ජනවහරේ එන කථාවලින් කියැවේ. අන්න ඒ කිරලා බිත්තර දමන්නේ බිම දිරායන කොළ රොඩු ගොම වැනි ස්ථානයක සකස් කළ ඉතාමත් දුර්වල කූඩුවකය. රුක් වඩු කුරුල්ලාගේ වාස්තු විද්‍යා දැණුම හමුවේ කිරලා මොන්ටිසෝරියටවත් සුදුසු නැත. කෙසේ හෝ සොබාදහම කිරලාට ආදරය දී ඇත. මිනිසාත් කිරලාත් අතර ඇත්තේ ලෝකු සබැඳියාවකි. උගේ ගමන් විලාශය නාදය හා හැසිරීම් රටාවන් නිරීක්ෂණය කළ කලාකාමී මිනිසුන් විසින් උඩරට වන්නම් 18 න් එකක් කිරලා වෙනුවෙන්ද වෙන් කළේ ඒ අපුර්ව බැඳිම නිසා නොවේද? 

අප දැක්කේ කිරල් බිත්තර 2 කි. එම බිත්තර වල විශේෂත්වය වූයේ එම බිත්තර වලින් පැටවුන් බිහිවන මංගල නැකත උදාවෙමින් පැවතුන නිසාය. අපි එම බිත්තර නිරීක්ෂණය කරමින් සිටියෙමු.


බිත්තරයේ කටුව සිදුරු කරමින් නව ජීවයක් මිහිතලයට වඩින්නට වෙර දරන අපූරුව විශ්මයෙන් අයාගත් දෙනෙතින් බලා සිටියෙමු. ඇත්තෙන්ම මෙවැන්නක්  මෙලෙස සජීවීව නරඹන්නට අපේ ජීවිත කාලය තුල අපට ලැබූන ප‍්‍රථම අවස්ථාව මෙය විය.


පුංචි කිරල් පැටවකු මෙලොව උපත ලබා ඇත. අප විසින් සිදු කරනු ලබන්නේ විශාල වරදකි. මේ මොහොතේ මෙම තිඹිරිගෙය තුල කිරල් දෙමව්පියන් සිටිය යුතුය. අප වටවී ඇති නිසා ඔවුන්ට පැමිණිය නොහැකිය. එබැවින් අපි වහා එතැනින් ඉවත් වුනෙමු. අහෝ සිදුවූයේ ඛේදජනක සිදුවීමකි. කිරල් දෙමව්පියන් මරහඩ තලද්දීම කපුටකු විසින් අළුත උපන් ඒ කිරල් පැටවා ඩැහැගෙන ගියේය. කපුටාට කලකින් රස මසවුලක් ලැබී ඇත. මේ වරදට අපද වගකිව යුතුය. 

උදෑසන ආහාර වේල අපේ ප‍්‍රධාන සූපවේදී අනුර සොයුරා විසින් සකස් කර අවසන්ය. නෙළුම් දඩු ව්‍යංජනය, අල බැදුම හා පරිප්පු ව්‍යංජනයකි. උදෑසන ආහාරය මෙතරම් ජයටම නිවසේදීවත් නොලැබේ. එකම හට්ටියක අවම පහසුකම් මැද මෙවැනි හපන් කමක් කළ අනුර නම් ඇත්තෙන්ම මහා හපනෙකි. මේ බලන්න අපේ කඳවුරේ උදෑසන ආහාර වේල.


අද මැයි 6 වන දා. අපේ සැරියේ අවසන් දිනය. කඳවුරු බිමෙන් නික්ම පානම බලා ගමන් ඇරඹිමු. අදත් තදින් හිරු පායා ඇත. දාහය ගත සිත දවාලයි. දැඩි ඉඩෝරයෙන් කර්කශව ගිය මෙම අභයබිමෙහි පිරිසිඳු ජලය ගලායන කුඩා දොළපහරක් අසල නැවතුනු අප කණ්ඩායම පිපාසයද සංසිඳුවා ගනිමින් මේ සූදානම් වන්නේ සමාලෝචන සැසිය පැවැත්විමටයි. 
ඒ අසලම වූ කුරුළු කූඩුවක් වෙත අපේ අවධානය යොමු අනේ නිතැතින්. කූඩු එකක් නොව දෙකක්. කුරුළු කූඩුව වසාගෙන මකුළු දැලකුත් බැඳල 

රුක් වඩු කුරුල්ලකුගේ කූඩුවකට සමානත්වයක් ඉසිලූවත් එය                                            වඩුකුරුළු කූඩුවක් නොවේ. 

සමාලෝචනයේ දී අප කණ්ඩායම් විසින්  වාර්තා කරගත් එක් එක් විශේෂයන් පිළිබඳව විමසමින් ඒවා එක් ලැයිස්තුවකට ගනු ලැබීය. 



අප කණ්ඩායම විසින් සිය අධ්‍යයනයේදී වාර්තා කරගත් කුරුළු විශේෂයන් මෙසේය   
 ශී‍්‍ර ලංකා බටගොයා                                                  ළය රන් බටගොයා  
පුංචි බිඟුහරයා                                                           කණ - කොකා  
තල් තුරිතයා                                                               කටිය සුදු තුරිතයා  
අළු කෑදැත්තා                                                             පොරෝ - කෑදැත්තා 
 පිට රතු රන් කෑරලා                                                   අළු කොකා  
කරවැල් කොකා                                                         ගව කොකා                                            
ලතු වැකියා                                                                 මොණරා                                                                                             සුදු දෑ කොකා                                                             පුංචි දිය කාවා                                                                                    හැඩපළු දිය කාවා                                                      අහිකාවා                                                                                                       සේතෝදර දියකුස්සා ( මුහුදු රාජාලියා)                   කලපු කිරලා                                                                    කිරලා ඇතුළු තවත් කුරුළු විශේෂ ගණනාවක් වාර්තා උනා.

සමාලෝචන සැසිය අවසන් කරල පානම දක්වා පැමිණ රාතී‍්‍ර කොළඹ බස් රථයකට ගොඩ උනේ ජීවිය මොනතරම් සුන්දරදැයි සිතමින්. 

අත්දැකීම් හා උපදෙස් 

මෙහි සඳහන් භාණ්ඩ හා උපකරණ සැරියකට අත්‍යවශ්‍යයි. ඇඳුම් ඉතාමත් අඩු ප‍්‍රමාණයක් අරගෙන යන්න. ඔබේ ගමන් බෑගය හැකිතාක් සැහැල්ලූ වෙන එක ගමනට පහසුවක්. මෙවැනි කලාපයක අධ්‍යයනය කිරීමේදී පානීය ජලය වැඩිපුර අරගෙන යන්නත් උත්සුක වන්න. ඔබ ඇතුළත් වන්නේ වනජීවී කලාපයකට නම් කොළඹ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ගෙන් ලිඛිත අවසරයක් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

Wednesday, May 1, 2013

තැඹිළි දොළට සංරක්ෂණයට නව පියවරක් .............

තැඹිළි දොළට සංරක්ෂණයට නව පියවරක් .............

කොඩිගහකන්ද අභයභූමියේ තැඹිළිදොළ සංරක්ෂණයට නව පියවරක් තබමින් 2013 අපේ‍්‍රල් 25 වන දින එනම් බක් මහේ පුරපෝය දා ජලජ සම්පත් කළමණාකරණ සංවිධානය(OARM) පරිසර කි‍්‍රයාධරයන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් එම දොළ දෙපස තෙත් කලාපීය ජලජ පරිසරයට ගැලපෙන පැල රෝපණය කිරිමේ ශ‍්‍රමදානයක් පවත්වනු ලැබූවා. 


එම සංවිධානයේ නියමුවා තමයි ශාන්ත ජයවීර මහත්මා. එතුමා සමග තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයින්ද පැමිණුනා. එම පිරිස ගස් පර්ණාංග, මිල්ල, දිය නා, පත් කෑල, හල් වැනි පැල වර්ග රෝපණය කරමින් තැඹිළිදොළ සංරක්ෂණය සඳහා සිය දායකත්වය ලබා දුන්නා. ඔවුන්ගේ මෙහෙවරට මිහිතල මිතුරන්ගේ ආචාරය