Thursday, November 13, 2014

ශී‍්‍ර ලංකාවේ ලෙන් විහාර සහ පරිසර පද්ධති අතර සබැඳියාව සොයා පිය මං කළ එක් දින චාරිකාව.........

ශී‍්‍ර ලංකාවේ ලෙන් විහාර සහ පරිසර පද්ධති අතර සබැඳියාව සොයා පිය මං කළ එක් දින චාරිකාව.........

මෙම ඉල් මහේ මිහිතල මිතුරන්ගේ එක් දින චාරිකාවේ අරමුණ උනේ ශී‍්‍ර ලංකාවේ ලෙන් විහාර සහ පරිසර පද්ධති අතර සබැඳියාව සොයා යාමයි. තම සාමාජිකයින් සහ හිතවතුන් සමග ඒ සඳහා ගමන් කළේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ සියනෑ කෝරළයේ පිහිටි ලෙන් විහාර කිහිපයක් වෙතටයි. මේ සූදානම ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙතට ගෙන එන්නයි.

ඉල් මහේ එනම් 2014 නොවැම්බරයේ 01 වන ශනිදා අපි උදෑසනින්ම ගමන පිටත් උනා. මෙවර චාරිකාවට පිරිස ප‍්‍රමාණය ඉක්මවාගිය සංඛ්‍යාවක්  ඉදිරිපත් වූ නිසා පසුව සම්බන්ධ වූ අය සඳහා නොවැම්බර් 09 වෙනිදා චාරිකාව යන බලාපොරොත්තු වෙන් මෙම චාරිකාව පිටත් උනා.



අපේ චාරිකාවට ළමා සමාජ,තරුණ සංවිධානය සහ සජන මිතුරෝ සාමාජිකයින් සහභාගි උනා. ඒ අතරේ තායිලන්තයේ පන් පන් ආයතනයේ සිට පැමිණි රම්පායි මෙනෙවියත් සිටියා.



නොවැම්බර් 09 චාරිකාවේ කණ්ඩායම

පිළිකුත්තුවේ ඉතිහාසය ආදි මානවයින් දක්වා එනම් ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන බවයි ඉතිහාඥයින්ගේ මතය. කෙසේ වෙතත් මෙහි ඇති සෙල් ලිපියට අනුව මෙය අනුරාධපුර යුගය දක්වා දිව යනවා.
වලගම්බා රජතුමා චෝල ආක‍්‍රමණය හමුවේ පැරද පළාවිත් සැගව සේනා සංවිධානය කළ ස්ථානයක් ලෙස පිළිකුත්තුව සැළකෙනවා. කි‍්‍ර.පූ.88 දී නැවත රජකම ලබාගත් පසු වලගම්බා රජතුමා මෙම ස්ථානයේ ලෙන් විහාර කළ බවයි පැවසෙන්නේ.

ප‍්‍රමාණයෙන් අක්කර 48 ක් ද මුහුදු මට්ටමේ සිට අඩි 400-450 ක් පමණද උසකින් පිහිටා ඇති මෙය ශී‍්‍ර ලංකාවේ ස්වභාවික ගල්ලෙන් වැඩිම ප‍්‍රමාණයක් පිහිටි ස්ථානය යි. මෙහි ස්වභාවික ගල් ලෙන් 99 ක් හඳුනාගෙන තිබේ. එම සෑම ගල්ලෙන් සියල්ලකම කටාරම් කොටා ඇත .  ඉන් හැගවෙන්නේ මේ සියල්ලම මානව පරිහරණයට යොදාගත් බවයි. 


වලගම්බා රජු පහත රට සැගව සිටින කාලයේ පිළිකුත්තුව ලෙන් ගුහාතුල වැඩි කාලයක් සැගවි සිටිබව කියවේ. ජනප‍්‍රවාදයට අනුව මේ එක් ලෙනක් වලගම්බා රජ්ජුරුවන්ගෙ ඇඳුම් ගබඩා කර තබා ගැනීමට භාවිතා කර තිබේ. එබැවින් පිළි සගවා තැබූ ස්ථානය පිළිකුත්තුව වූ බවට මතයක් පවතී. තවද එම අවධියේ රජතුමාගේ බිසව වූ සෝමා දේවියගේ රාජකීය ඇදුම් අයිත්තම් ආරක්ෂාව පිණිස සගවා තිබූ ස්ථානය මෙය වූ බැවින් පිළි සගවා තැබූ තැන පිළිකුත්තුව බව එක් ජනප‍්‍රවාදයකි. එලසම රාජමහා ඇමතීන්ට රෙදි පිළි සැපයූ තැන පිළිකුත්තුව බව තවත් මතයකි. 


පිළිකුත්තුව විහාර භූමිය තුළ කි.පූ. 3-4 යුගයට අයත් ලෙන් ගුහා අති විශාල ප‍්‍රමාණයක් ඇත. ඉපැරණි පොකුණු වටිනා කම මිල කල නොහැකි වෘක්ෂලතා මෙම විහාරයේ වටිනාකම ඉහළ දමයි.



පිළිකුත්තුව ආශි‍්‍රතව තවත් ඓතිහාසික ගම්මාන 06 කි. එම ගම්වල නාමයන් ද යම් යම් ඓතිහාසික කරුණු හා ජනප‍්‍රවාද මත රඳා පවති. යුධ භටයන් බඳවා ගත් ප‍්‍රදේශය යොන්ගම්මන ද යුධ භටයන් රැුස්කළ ප‍්‍රදේශය බටේපොළ ද යුධභටයන්ට බත් දුන් ප‍්‍රදේශය බුත්පිටිය ද දළදා වහන්සේ තැන්පත් කිරිමට සෑදු රහස් කුටියට පස් ලබාගත් ප‍්‍රදේශය පසුගම්මන සහ දළදා මාළිිගාව ඉදිකර දළදාවහන්සේ තැන්පත් කළ ප‍්‍රදේශය මාළිිගාතැන්න

පිළිකුත්තුව රාජමහා විහාරයේ වැඩහිදින මහනුවර යුගයට අයත් යැයි සැලකෙන දාගැබ් වහන්සේ ප‍්‍රමාණයෙන් කුඩාය. මෙය පිහිටා ඇත්තේද ගල් ලෙනක් තුලය. මෙම චෛත්‍ය රාජයන් වහන්සේව වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට ලෙන වටා කටාරම් කොටා ඇති අයුරුද දැකගත හැකිය. මෙම විහාරයේ 16 වන ශතවර්ෂයේ අඳින ලද චිත‍්‍රයන්ද තවමත් දැක ගත හැකිය. මෙම චිත‍්‍රවල උඩුකය නිරුවත් කාන්තා රූප දක්නට ලැබේ.බිත්ති වල සිතුවම් කර ඇති මහනුවර යුගයට අයත් සිතුවම් බොහොමයක් ජාතක කතා වලින් විචිත‍්‍රවත් වී ඇත. ඔ්ලන්ද පාලන සමයේ මෙම සිතුවම් ඇඳි හෙයින් බොහෝ විට ඇඳුම් ආයිත්තම් හා ආභරණ ඔ්ලන්ද සම්ප‍්‍රදායන් විදහා දක්වයි.

ධර්මපාල ජාතකය දැක්වෙන සිතුවමක්


වෙස්සන්තර ජාතකය විදහා දැක්වෙන සිතුවමක්

පිළිකුත්තුව කඳු මුදුනේ රමණිය විශාල ගල් තලාවකි. 



කඳු මුදුනට පැමිනි විට අවට විහාල භූමි ප‍්‍රදේශයක් දර්ශනය වන අතර එම දසුනින්  සිත් සතන් නිවී පහන් වී යයි.


වට අඩි 6 ක් පමණ වන වසර 400 ක් පමණ පැරණි යෝධ පුස්වැල මේ බිමට මහත් අභිමානයක් ගෙන එයි. එය විවිධ විසිතුරු රටා මවමින් දසත විහිදී ඇත.



මෙම ස්ථානයේ ඇති තවත් වැදගත් අංගයක් වනුයේ ඔ්ලන්ද සමයේ ඉදිකරන ලද මහනුවර යුගයට අයත් දැව පාලමයි.


මෙම නිස්කලංක පරිසරය ගතට මෙන්ම මනසට ද සුවදායකය. මෙහි ඇති රුක්ගොමු , ලෙන් හා විහාරාරාම අපේ ඉතිහාසයේ  රහස් නිහඩව සගවාගෙන ඇත. මෙම පින්බිම අද දවස මිනිස් නොපණත් කම් වලින් විනාශවෙමින් පවතී. නිධන් හොරුන් හා ජඩ ගති ඇති මිනිසුන් මෙම සොඳුරු බිම කිලිටි කරමින් ඇත. බලධාරීන්ගේ හා වගකිවයුතු සියලූ අංශයන්ගේ අවධානය පිළිකුත්තුවට යොමුවේනම් එවිට මෙම පිංබිම මතුපරපුර වෙනුවෙන් සුරැුකෙනු ඇත.

පිළිකුත්තුව නරඹා අපි පියමං කළේ එවැනිම තවත් වැදගත් ඓතිහාසික ස්ථානයක් වෙතටයි. ඒ මාලිගාතැන්නයි.

ආරම්භයේ දිම කළුගල් පව්වමත ක‍්‍රමාණුකූලව ඉදිකරන ලද පියගැට පෙළ මාලිගාතැන්නට නව අභිමානයක් ගෙන එයි.

පියගැට පෙළ අවසන්ව මකර තොරණ අබියස දෙපස කළුගලින් නිමවන ලද කැටයම් දෙකක් වෙයි. ඒ මත හුනු අතුරා අළුත්වැඩියාවක් ද කර ඇත. එහි හිරු-සඳු දකුණු පසද බල්ලා හා කපුටාගේ රුව වම් පස ද කැටයම් කර ඇත. එහි සැගවුන අරුතක් ඇත. ඉන් කියැවෙන්නේ ඉර හඳ පවතින තුරු පවතින්නා වූ මෙම විහාරාරාම වනසන්නවුන් බල්ලන් හා කපුටන් වී උපදින බවයි. 



මාලිගාතැන්න පර්වත භූමිය තුල කි‍්‍ර.පූ. යුගයේ දී (වර්ෂ නිශ්චිත නැත) භාවිතාකරන ලද ගල් ලෙන් කිහිපයක් සහිතය. මෙම ස්ථානය වළගම්බා රජු සැගව සිටි තැනක් බවද කෝට්ටේ යුගයේ පර සතුරු උවදුරු තිබූ අවස්ථාවල රජුන් හා ඇමතීන්ට ආරක්ෂාව හා රැුකවරණය දුන් තැනක් බව ද ජනප‍්‍රවාදයයි. එමෙන්ම කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු පෘතුගීසින් හා එක්ව කතෝලික ආගම වැළඳගත් පසු ඇති වූ ව්‍යාකූල කාලයේ දී දළදා මන්දිරයේ දියවඩන නිලය දැරූ හිරිපිටියේ රාල විසින් දන්ත ධාතූන් වහන්සේ වඩමාගෙන විත් ආරක්ෂාව සඳහා මාලිගයක් කරවා තැන්පත් කළ බැව් සඳහන්වේ. දළදා වහන්සේ වැඩසිටි මාලිගය පිහිටි භූමිය මාලිගාතැන්න විය. 

මාලිගාතැන්න විහාරස්ථානය මුළුමනින්ම පිහිටා ඇත්තේ දැවැන්ත ගල් පර්වතයක් මතය. පර්වත ආරම්භයේ සිටම විහාරයට ඇතුළුවීම දක්වාත් ඉන් ඔබ්බට ඉහළ පුරාණ බෝධි වෘක්ෂය දක්වාත් තැනින් තැන ගල් පඩි මනා ලෙස සකසා ඇත.
සෙමින් සෙමින් ඉහළ නැග යන අතර අවට පරිසරයේ සුන්දරත්වය නෙතට අඳුනක් මෙනි. පර්වතය ඉහළට යන මාර්ගය විටෙක ක‍්‍රමවත්ව ද තවත් විටෙක අක‍්‍රමවත්ව කුඩා ගල්වලින් සමන්විතය. නැග්මෙන් අඩක් පමණ ඉහළක දී සොබාදහමේ සොඳුරු නිර්මාණයක් හමුවන්නේය. එ් දැවැන්ත ගල් පර්වත 2 ක් තුළින් ඉහළට ගල් පඩි 75 -100 ක් පමණ නැගීමය. 


පර්වතයේ ඉහළ කොටසට ඇතුලූවන තැන පිහිටා ඇති වක්වූ ගල් පඩි හෙළ කළාකරුවාගේ සෙල්මුවා නිර්මාණයෙහි ඇති නිපුනතාවය හොඳින් පසක් කරන අවස්ථාවක් ලෙස හඳුන්වා දිමෙහි කිසිදු වරදක් නැත.

 මේ ලෙන් විහාරාරාම නිසාම මෙම මහා ගල්පර්වත සුරක්ෂිතව පවතS නොඑසේනම් මේවා කෑදර මිනිස් හස්තයෙන් වැනසී යනු නිසැකය. මාලිගාතැන්න කඳු මුදුනට නැංග විට එහි බටහිර බෑවුම පුරා මහා ගල් පර්වත පුපුරුවා හරිමින් වනසන දුක්මුසු දර්ශනය සැබෑ මානව හදවත් කම්පා කරවයි. නොඑසේනම් මේවා කෑදර මිනිස් හස්තයෙන් වැනසී යනු නිසැකය. මාලිගාතැන්න කඳු මුදුනට නැංග විට එහි බටහිර බෑවුම පුරා මහා ගල් පර්වත පුපුරුවා හරිමින් වනසන දුක්මුසු දර්ශනය සැබෑ මානව හදවත් කම්පා කරවයි 


තමා ඉදිරියේ මියැදෙමින් සිටින තමාගේම සොයුරෙකු දෙස බලා සිටින දැවැන්තයෙක්

මාලිිගාතැන්නෙන් නික්මුන අප කණ්ඩායම ඊලගට ගමන් කළේ වාරණ රජමහා විහාරය වෙතටයි



ලිඛිත දත්ත වලට අනුව දෙවන හා තුන් වන ශතවර්ෂ වලදී දේවානම් පියතිස්ස රජ සමයේ ඉදි කලා යැයි සැලකෙන මෙම විහාරය ද වලගම්බා රජු විසින් කර වූ බව සැලකේ. ගල් විහාර නිර්මාණයේ ප‍්‍ර‍්‍රමුඛ රජෙකු වූ වලගම්බා රජු ඉන්දීය ආක‍්‍රමණයන් වලදී මෙම ස්ථානයේද සැගවී සිට යුද ජයග‍්‍රහණයෙන් පසු මෙම ස්ථානයේද විහාරයක් කරවා ඇතx එය වාරණ රජමහා විහාරයයි

ඉහළ මළුවේ ඇති ලෙන් විහාරය - මෙහි මහනුවර යුගයට අයත් සිතුවම් හා සැතපෙන පිළිමයක් ඇත

වාරණින් අප පියමං කළේ මෙම චාරිකාවේ තවත් අපූර්ව ස්ථානයක් වෙතට  දිනයේ වෙහෙස මහන්සිය නිවා දමා ගතට සිතට සිසිලසක් ලබා ගන්නා අටියෙන් අප අත්තනගල්ල සිට අල්ගම දක්වා ගමන් කළේ දුනුමාල ඔයෙන් නිර්මාණය වන අඩි 40 ක් පමණ උසකින් ගලා හැලෙන දුනාමාල ඇල්ල හෙවත් දේවින් පැන්න ඇල්ල සමීපයටයි



මෙය සුවිශේෂි ඇල්ලක්. නිරුපද‍්‍රිතව දිය නෑමට හැකි ස්ථානයක්  ඇල්ලට ඔළුව අල්ලගෙන නාන්න ලැබෙන දුර්ලබ අවස්ථාවක්  පිටට ඉහළ සිට වතුර වැටෙන කොට හරියට ගල් කැට වැටෙනව වගේ ජලයෙන් අපේ ශරිරය සම්බාහනය කර ගන්න ලැබෙන අවස්ථාවක් නාන් බැහැ කියපු අයත් අන්තිමට නාන්න පටන් ගත්ත හැමෝම සිත් සේ ඇල්ලෙන් න නා ගත්ත. කළාතුරකින් ලැබෙන අවස්ථාවක්.


ඒත් අවාසනාව කියන්නෙ අපේ රටේ මේ වගෙ සුන්දර තැන් හරියට භාවිතා කරන්න නොදන්න මුග්ධයින් නිසා මේ බිමත් වැනසෙන්න පටන් අරගෙන. මත්පැන් බිල බියර් කෑන් හැමතැනම දාල. අරක්කු බෝතල් බිඳල විදුරු කැට විසුරුවා දමල. පොලිතින් වලින් බිම අපිරිසිඳු කරල. මෙවන් සුන්දර තැන් රැුකගන්න මීට වඩා ශිෂ්ඨ සම්පන්න සමාජයක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා අපි හැමෝම එක් විය යුතු කාලය ඇවිල්ල.



No comments:

Post a Comment