Monday, February 11, 2013

හිතායු සුඛායු දිඝායු වේවා

හිතායු සුඛායු දිඝායු වේවා

‘‘ආරොග්‍යා පරමා ලාභා’’- ගෞතම බුදුරදුන්


මිහිතල මිතුරන්ගෙ අනු සංවිධානයක් වෙච්ච ‘‘සජන මිතුරෝ ’’ සංවිධානයේ ප‍්‍රජා සත්කාර්යයක් හැටියට 2013 අවුරුද්දෙ මුල්ම වැඩසටහන දියත් වුනේ 2013 ජනවාරි 27 වෙනිදා. 14 වෙනිදා තියන්න හිටියත් හුඟක් අයට නිවාඩු නැති ප‍්‍රශ්නයක් ආපු හින්ද 27 වෙනිද තිබ්බ. බටහිර තලගල වීර මද්දුම බංඩාර විදුහලේ පවත්වපු මේ වැඩසටහන අර්ථවත් කරන්නට පැමිනියේ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ සහකාර පර්යේෂණ නිලධාරි අපේ අතිජාත මිත‍්‍ර අසෝක කරුණාරත්න මහත්තය. 
කොඩිගහකන්ද ජෛව විවිධත්ව පර්යේෂණය කරල එම වාර්තාව පොතක් හැටියට සකස් කරපු වනජීවී භාරයේ වැඩසටහන් නිලධාරි වරයා හැටියට සේවය කරාපු ශී‍්‍ර ලාල් නිශාන්ත හෙට්ටි ආරච්චි මහත්තය තම ජිවිතයෙන් සමුගත්ත රිය අනතුර සිදු උන වාහනයේ ගමන් කරල එලොව ගිහින් මෙලොව ආපු කෙනෙක් තමයි අසෝක මහත්තය. හරිම සරල නිරහංකාර බවින් පිරුන එතුමා අපේ වැඩසටහන් ගණනාවකට සහයෝගය දිල තියෙනව. ගමේ වැඩිහිටි ප‍්‍රජාව විතරක් නෙමෙයි නිරෝගි ජිවිතයක් ගතකරන හැටි ඉගෙන ගන්න පුංචි පැටවුනුත් සැළකිය යුතු ප‍්‍රමාණයක් එදා ඇවිදින් හිටිය.
මේ එදා එතුමා දොඩමළු වෙද්දි ඉදිරිපත් කරපු අදහස් වලින් අහුලාගත් අදහස් කිහිපයක්. මේව බලල විතරක් නම් මදි. ප‍්‍රායෝගිකවම තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න වෙනව. නැත්නම් කිසිම තේරුමක් නැහැ.     

අසෝක කරුණාරත්න මහතා තම දැණුම ජනතාවට බෙදා දෙමින්

                                                                                                                           

උනන්දුවෙන් දේශනයට සවන් දෙමින්


ඉස්සෙල්ලම කියල දුන්නෙ ආයුර්වේදය කියන්නෙ මොකක්ද කියල. හුඟක් දෙනෙකුට ආයුර්වේදය කියපු ගමන් දැනෙන්නෙ මහා අපුලක් . ගඳ ගහන තෙල් බෙහෙත් ගාන, තිත්ත කෂාය බොන්න දෙන තැනක් කියලනෙ හිතන්නෙ. ආයුර්වේදය කියන්නෙ ලෙඩට බෙහෙත් දෙන තැනක් නෙමෙයි. ලෙඩ නොවි නිරෝගිව ජිවත්වෙන හැටි උගන්වන තැනක්. ආයුෂ වින්දනය කරන හැටි උගන්වන එකතමයි ආයුර්වේදයෙන් කෙරන්නෙ. එහි එන මූලික සංකල්පයක් තමයි හිතායු, සුඛායු හා දිඝායු කියන්නෙ. හිතායු කියන්නෙ මනස නිරෝගී විම, හුඟක් අයට තියෙන රෝග වලින් වැඩි හරියක්ම කායික රෝග නෙමෙයිනෙ. මානසික රෝග. ඒ හින්ද ඉතාම වැදගත්ම දේ තමයි නිරෝගී සැපවත් දිවියක් ගත කරන්න මානසික නිරෝගි කම. ඊලඟට සුඛායු. සුඛායු කියන්නෙ කායික නිරෝගිකම. එතනින් පස්සෙ දීඝායු. ඒ කියන්නෙ දීර්ඝායුෂ ලැබීම. මේ සඳහා අතිශයින්ම වැදගත් වෙන්නෙ අපේ ඇවතුම් පැවතුම්
පළමුවෙන්ම අවදි වෙන වේලාව. නිරෝගී සාර්ථක ජිවිතයක් අපේක්ෂා කරන්නෙක් අනිවාර්යයෙන්ම හිරු නැගෙන්නට මිනිත්තු 55 කට පෙර අවදි විය යුතුයි. ඒ තමයි ආයුර්වේදයේ සඳහන් කර ඇති ‘‘බ‍්‍රහ්මමූර්තිය’’ . සාමාන්‍යයෙන් අළුයම 04.30 - 05.00 ත් අතර කාලය. නවීන විද්‍යාව විසින් පිළිගන්නව මේ වෙලාවට තමයි වායුගෝලයේ හයිඩ‍්‍රජන් ධන අයන (H+) සහ හයිඩ්‍රොක්සිල් සෘණ අයන (OH-) වැඩි පුරම තියෙන්නෙ කියල. ඉතින් නැගිටල ශරිර කෘත්‍යය එහෙම කරල මුලින්ම කරන්න තියෙන්නෙ පිරිසිඳු ජලය පානය කිරිම. මේකත් හරි වැදගත්. මේ පිළිබඳව විවි මත සමාජයට ගිහින් තියෙනව. වතර විදුරු 3 ක් බොන්න  ඕනැ කියල සමහරු කියනව. විදුරුව කියන්නෙ සම්මත මිම්මක් නෙමෙයිනෙ. එක එක ජාතියෙ විදුරු තියෙනව එක එක ප‍්‍රමානයට. අනෙක වැඩිහිටියෙකු බොන ජල ප‍්‍රමාණය කුඩා දරුවකට ගැලපෙන්නෙ නැහැ. අන්න ඒ හින්ද බොන්න  ඕනි තමන්ගෙ දෝතින් 3 ක් ( දෝත පුරා 3 වරක් වතුර අරගෙන භාජනයකට දාල මේ ප‍්‍රමාණය මැන ගන්න පුළුවන් * .
ඊට පස්සෙ ටිකක් වාතාශ‍්‍රය හොඳට තියෙන තැනකට ගිහින් ප‍්‍රාණයාමය කරන්න. ඒ කියන්නෙ තමන්ගෙ එක ඇඟිල්ලකින් එක නාස්පුඩුවක් වසා ගෙන දීර්ඝ හුස්මක් ඉහළට අරගෙන වැසු නාස්පුඩුව විවර කර (හුස්ම ගත් නාස් පුඩුව වසාගෙන * හෙමින් හුස්ම පිට කරන්න. මේ දේ මාරුවෙන් මාරුවට විනාඩි 5 ක් පමන කරන්න. අපේ පෙනහැලි වල පිහිටි ගර්ත ඉහත කී අයන අඩංගු පිරිසිඳු ඔක්සිජන් වලින් පිරී අපේ රුධිර පද්ධතිය දවසේ ආරම්භයේදී පිරිසිඳු වේවි.
ඊලඟට කරන්න තියෙන්නෙ මනස සැහැල්ලූ කර ගන්න එක. පළමුව තමන්ට සුබ පතන්න. අද දවස සරු කර ගන්න අදිටන් කර ගන්න. දෙවනුව තම මව් පියන් ගරුවරුන් ඇතුළු තම සමිපතමයන්ගෙන් පටන් ගෙන පිරිසිඳු අවංක හිතින් ලෝකයටම සුබ පතන්න.
දැන් උදේ ආහාරය . උදේට මුලින්ම සුදුසු කැද වර්ගයක් පානය කිරිමයි. දිගු පැය ගණනක් ආහාර නොමැතිව තිබුන ජීර්ණ පද්ධතියට එක් වරම බර ආහාරයක් වෙනුවට ජීර්ණයට පහසු කැඳ වර්ගයක් පානය කරන්න. මේ සඳහා කොළ කැඳ, කුරක්කන් කැඳ, මෙනේරි කැඳ, තණ හාල් කැඳ ආදී කැඳ වර්ග  ඕනෑ තරම් තියෙනව. දිනපතා මාරුවෙන් මාරුවට විවිධ ගුණ ඇති කැඳ වර්ග පානය කරන්න පුළුවන්.
තව විශේෂ දෙයක් කිව යුතුයි. අපි ආහාර ගන්න කොට ඒකෙ රස ගැන හිතනවනෙ. මොනවද අපි දන්න රස. අපි ආහාරයක බලන්නෙ ලූනු - ඇඹුල් තියෙනවද මිරිස් ඇතිද මදිද කියල විතරනෙ. නැහැ ආහාරයක තවත් රස තියෙනව ඒ තමයි කහට රස සහ කෂාය රස.  ඉතිං මේ පංචවිධ රසයම ආහාරයක ඇතුළත් වෙන්න  ඕනි.
පුරානයේ අපේ අම්මල බත ‘‘ හැතපෙන්න ’’ තියෙනව. දන්නවද ඒ ගැන?
බත හැතපෙනව කියන්නෙ බත ඉදීගෙන එන කොට වතුර හිඳි ගෙන එන කෙට බත හොඳට කූරු ගාල නෑබිලිය මුනින් නවල මද ගින්නෙ තියෙන එකට. එහෙම කරන්නෙ ඇයි කියල ඔබ දන්නවද? බත්වල තියෙන පෝෂ්‍ය පදාර්ථ (යම් අහිතකර දෙයක් තිිබුනනම් ඒකත්* ඒකාකාරව හැම තැනම විසිරි යන්න. එතකොට පවුලේ හැමට හැම දෙයක්ම සම සමව ලැබෙනව ගුණ වගේම අගුනත්. 
අපි මේ කථාකරන්නෙ අපේ ඇවතුම් පැවතුම් ගැන. රාත‍්‍රි ආහාරයත් වැදගත්. රාතී‍්‍ර ආහාරය 07.30 ට විතර අරගන්න. අරගෙන පියවර 60 ක් ඇවිදින්න. මේක හැම ආහාර වේලකටම පස්සෙ කරන්න.
ඉතිං එදා අසෝක මහත්තය එදි නෙදා අපිට වැලඳෙන පුංචි පුංචි ලෙඩ රෝග බෙහොමයකට නිවසේදිම බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන් අත් බෙහෙත් ගැනත් අපිව දැනුවත් කළා. අද සමාජයේ බහුලව තියෙන බෝනෙවන රෝග ගැනත් දැනුවත් කළා. අද හුඟක් අයට තියෙන රෝගයක්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම. මේකට හොදප‍්‍රතිකර්මයක් එතුමා කියල දුන්න. ඉස්සර අපේ ආච්චිල මිරිස් ගලේ ( දැන් ඉතිං එහෙම එකක් නැහැනෙ. තිබුනත් මොනව අඹරන්නද ? ඔක්කොම පහසුවට ග‍්‍රයින්ඩින් මිල්ස් වලින් කුඩු කරලම දෙනවනෙ* ගුලි ගණනාවක් ඇඹරුව. මිරිස් ගුලිය, තුනපහේ ගුලිය, අබ ගුලිය, කහ ගුලිය සහ ගොරක ගුලිය ඒ අතරෙ ප‍්‍රධානයි. හොදි උයන කොට මේ ගුලිවලින් ටික ටික අවශ්‍ය ප‍්‍රමාණයට යොදනව. ඔබ දන්නවද මේ අතරෙ තියෙන ගොරක කියන්නෙ අපේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් පාලනය කරන ඔසුවක් බව. හැබැයි මතක තියා ගන්න ඒක අඹරල, අඹරන්න බැරිනම්  බ්ලෙන්ඩර් කරල හරි ආහාරයට එක් කර ගන්න.  සතියකට දෙකකට පස්සෙ චෙක් කරල බලන්නකො මේක ඇත්තද නැත්තද කියලම.
අනෙක තමයි ග‍්‍රැස්ට‍්‍රයිටීස්. ඉස්සර නම් හොද්ද ලිපේ තියල හොඳට හැඳි ගානව. ඒක කලේ දර ලිපේ. ගින්දර අඩුවේගෙන යන කොට ලිපට පිඹිනව. අළු ඇවිස්සිල්ලා අළු හොද්දට වැටෙනව. හැම දාම ආහාරයට ලිපේ අළුත් එකතු උනා. ඔබ දන්නවනෙ ග‍්‍රැස්ට‍්‍රයිටීස් කියන්නෙ ආමාශයේ ආම්ලික බව වැඩිවීම. ආම්ලික බව වැඩි උනහම ඒක උදාසීන කරන්න දෙන්නෙ භෂ්මයක්. ලිපේ අළු කියන්නෙ (පොටෑසියම කාබනේට්* භෂ්මයක්. මේ රෝගය යම් විදිහකින් වැළඳුනොත් ලිපේ සුදු අළු අරගෙන ලූනු වතුර ටිකක් දාලා දියකරල බොන්න. වැඬේ  හමාරයි.

No comments:

Post a Comment