Monday, November 28, 2011

☺දෙදින පාරිසරික කඳවුර


කොඩිගහකන්ද අශ‍්‍රිතව පැවැත්වෙන මෙම පාරිසරික කඳවුරු පැවැත්වෙන්නේ එලිමහන් කඳවුරු ලෙසය. එක් කඳවුරකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 40 කි. අවම ප‍්‍රමාණය 15 කි . විවිධ කි‍්‍රයාකාරකම් වලින් සමන්විත මෙම කඳවුර සඳහා පාසල් පරිසර නියමුභටයින්, පරිසර සංවිධාන සහ වෙනත් සංවිධානාත්මක කණ්ඩායම් සඳහා දැනට විවෘතව පවතී.
2012 සිට මාසිකව පැවැත්වෙන මෙම පරිසර කඳවුරු සඳහා දිවයිනේ ඕනෑම අයෙකුට සහභාගිවිය හැකිය.
ඒ පිළිබඳ විස්තර අප වෙබ් අඩවිය (www.mihithalamithuro.org) හා  (www.mihithalamithuro.blogspot.com) හරහා ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත.

කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්්ථානය සිය සේවාවන් අරඹයි.....

2011 සැප්තැම්බර් 25 වන දින සිය සේවාවන් ඇරඹු කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය දැනට පහත සේවාවන් අරඹා ඇතිවග සතුටින් දන්වමු.
☺පාරිසරික අධ්‍යයන වැඩසටහන්
මේ යටතේ පාසල් සිසුන් සහ පොදුවේ පරිසර හිතකාමීන් සඳහා කොඩිගහකන්ද වනාන්තරය ආශ‍්‍රිතව එක් දින ජෛව විවිධත්ව අධ්‍යයන වැඩසටහන් අරඹා ඇත. මේ සඳහා පැමිනෙන්නවුනට තමන්ට පහසු ආකාරයට වැඩසටහන් සඳහා සහභාගි විය හැකිය.
මෙම වැඩසටහන් සඳහා සහභාගිවන ( අවම 15 දෙනෙකුගේ * කණ්ඩායමක් සඳහා උදෑසන ආහාර, දිවා ආහාර සහ තේ සඳහා එක් අයෙකුගෙන් අයකරනු ලබන්නේ රුපියල් 600 ක් වැනි සහනදායි ගාස්තුවක් පමණි. මෙම මුදලට මාර්ගෝපදේශකයින්ගේ ගෙවිම් ද ඇතුළත්වේ.
සැ.යු. ආහාර අවශ්‍ය නොවන කණ්ඩායම් සඳහා එක් මාර්ගෝප දේශකයකු සඳහා රුපියල් 500 ක් පමණක් ගෙවිම ප‍්‍රමාණවත් වේ.

Friday, October 28, 2011

අපේ පරිසර නිවහනට ගෙවැදුනු ඒ අසිරිමත් දා......



එදා 2011 ක් වු සැප්තැම්බර් 25 වන ඉරුදිනයයි. හිමිදිරි උදෑසන අරුණාලෝකය පැතිරෙද් දී විහඟ ගී නද දසත රැව්දෙන්නට පටන් ගත්තා. වසර කිහිපයක් පුරා පිරූ පෙරුම් දම් මල් ඵල ගැන්වෙන දිනය එළඹී ඇත. මේ එළඹ ඇත්තේ මිහිතල මිතුරන් සහ කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම එක්ව තම දහදියෙන් ගොඩනැගි ජෛවවිවිධත්ව මධ්‍යස්ථානයට ගෙවදින මංගල දිනයයි. මහා සංඝරත්නය, ආරාධිතයින්, මාධ්‍යවේදින්, පරිසර කි්‍රයාධරයින් සහ හිතවතුන් මෙන්ම සංවිධාන දෙකේ සාමාජික සාමාජිකාවන් පිරිවරාගෙන චාම් එහෙත් අභිමානවත් අයුරින් මෙම උත්සවය ඇරඹුනා.
පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් කළුතර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්ති්‍ර විදුර වික්‍රමනායක මහතා ප්‍රමුඛ ගිහි පිරිසත් හරියටම උදේ 09.27 ට යෙදුනු සුබ මුහුර්තයෙන් අපේ පාරිසරික නිවහනට ගොඩවැදුනා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් හඩ මධ්‍යයේ කිරි උතුරුවා සෞභාග්‍යමත් අනාගතයට පැතුම් පොදි බැඳ ගත් පිරිස පොල්තෙල් පහන් සිළු දල්වමින් පඥාවේ ප්‍රදිපාලෝකය දල්වා ලුවා. ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමාධිපති අතිගෞරවණිය පණ්ඩිත උඩුවේ හේමාලෝක හිමිපාණන් විසින් පැමිනි සැම පංචශිලයෙහි පිහිටුවීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩ ඇරඹුනා. මිහිතල මිතුරන්ගේ වසර 17 ක ගමන් මගෙහි මහා වනස්පතීන් සේ හිඳිමින් එම මග එකළු කරමින් සිටියදී සදහටම අප හැරගිය සැබෑ සහෘද හිතවතුන්ට උපහාර පිදෙන උත්තම පුජා පූජෝපහාරය පිරිනැමුනේ සියල්ලන්ගේම දැසට කඳුළක් එක් කරමින්. මිහිතල මිතුරෝ සංවිධානයේ ප්‍රථම උපලේකම් ප්‍රැන්සිස් ඕමත්තගේ, භාණ්ඩාගාරික ධුරය හොබවමින් සිටිය දී අපහැර ගිය එල්. ඩී. විජයපාල මහතා, 1995 - 1998 කොඩිගහකන්ද ජෛවවිවිධත්ව පර්යේෂණය සිදු කළ වනජීවීභාරයේ වැඩසටහන් නිලධාරීව සිටියදී හදිසි අනතුරකින් අප හැර ගිය ශී්‍ර ලාල් නිශාන්ත හෙට්ටි ආරච්චි මහතා සමරමින් ඔවුන්ගේ පිළිරූ මල්දමින් සැරසූයේ ඔවුන්ගේ ඥාතීන් විසිනි.
පිළිගැනීම හා අරමුණ පැහැදිලි කරමින් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ සභාපති කරුණාදාස මුණගම මහතා උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය. කොඩිගහකන්ද වනාන්තරය සංරක්ෂණය කිරීමට අපි ආරම්භ කරපු ගමන් මගේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස තව නොබෝ දිනකින් මෙම වනපෙත කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම වනජීවී කලාපය ලෙස අභයභුමියක් බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය අපි සියළු දෙනාම සාමූහිකව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් . අපි මෙම ස්ථානයේ ගොඩනගල තියෙන පාරිසරික නිවහන ඉදිරියේදී මෙම වනපෙත අධ්‍යයනයට පැමිනෙන පරිසර කි්‍රයාධරයන්ට මහඟ තෝතැන්නක් වේවි. මෙම නිවහන සියයට අනූවක්ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූවක්. මෙම නිවහන හදන්න අපේ සංවිධානයේ පුංචිම සාමාජිකයාගේ පටන් වැඩිහිටි සාමාජිකයා දක්වා කැපවුනා. කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනමේ සියළු දෙනාම මේ සඳහා ලබා දුන් සහයෝගය ඉමහත්. ඒ නිසා මෙම ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කැපවිමේ හා පරිත්‍යාගයේ සංකේතයක්. ඒ වගේම යම්  කෙනෙකුට ප්‍රජා සහභාගිත්වයෙන් වනාන්තරයක ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඔනිනම් එන්න අපි ලඟට. අපි ඒ වැඩේ ඉතාමත්ම ඉහළින් කරළ තියෙනව. ඒ විතරක් නෙමෙයි, මුදල් වෙනුවෙන් ඕනෑම ජඩවැඩක් කරන්න සුදානම් වුනු මෙවන් අවධියක තමන්ගෙ පුද්ගලික මුදල් යොදවල වනාන්තරයක් මිලදී ගෙන එය සොබාදහම පරිත්‍යාග කරපු මිනිසෙක් සිටිනවානම් ඒ රෝහණ සොයිසා මැතිතුමන් විතරයි. එබැවින් එවන් සැබෑ මිනිසුන්ට අප සැමගේ උපහාරය හිමි විය යුතුයි.
මෙම උත්සව සභාව අමතමින් කළුතර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්තී්‍ර විදුර වික්‍රමණායක මැතිමන් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවට ගොස් අනාගත පරම්පරාව වෙනුවෙන් කළ ඉහළම කටයුත්ත කොඩිගහකන්ද අභයභූමියක් බවට පත් කිරීමට තමන්ට දායක විමට හැකිවීම බව පැවසීය. රටේ සිදුවන ඕනෑම පරිසර විනාශයක කෙළවර දේශපානඥයෙක් සිටින බව ද සංවර්ධිත රටවල් බලහත්කාරයෙන් අප මත පටවන ලද බොහෝ දේවල් අපට ඉමහත් ව්‍යසන කාරී දේවල් බවට පත්වී ඇති බවද පැවසීය.
මෙම උත්සව සභාව අමතා පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කළ අතර හෝමාගම ප්‍රාදේශීය සභා මන්තී්‍ර මහින්ද උඩුවන මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජෙෆ්/එස් ජී පී වෙනුවෙන් ශිරන්ති මහත්මිය, කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම වෙනුවෙන් එහි සභාපති ජී.පේමදාස මහතා, රොහාන් ද සොයිසා මහතා සභාව ඇමතීය. අනතුරුව පෙ.ව. 11.32 ට පාරිසරික නිවහනේ ඉඳුල් කිරීමේ චාරිත්‍රය සිදුවූ අතර සියළු දෙනාටම කිරිබත් කැවුම් කොකිස් ඇතුළු රසවත් තේ පැන් සංග්‍රහයක රස භුක්ති විඳිමටද හැකිවිය.



Tuesday, September 13, 2011

කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය සැප්තැම්බර් 25 වන දා ............


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම හා කොඩිගකන්ද සංරක්ෂණ ප‍්‍රජා පදනම මගින් ඉදිකරන ලද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය 2011 සැප්තැම්බර් මස 25 වන ඉරු දින පෙ.ව.09.27 ට යෙදෙන සුබ නැකැතින් සිදු කෙරේ. කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමණායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනියයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව පැවැත්වෙනු ඇත.

Saturday, August 20, 2011

රූ දෙස් සංචරණයට නව මානයක් - මිහිතල මිතුරන්ගෙන් ඇරයුමක් !

මිහිතල මිතුරෝ මගින් සංවිධානය කරනු ලබන චාරිකා වැඩසටහනේ මිලඟ චාරිකාව සැප්තැම්බර් මාසයේ අවසන් සති අන්තයේ දී පැවැත්වෙනු ඇත.  එක්දින චාරිකාවක් ලෙස පැවැත්වෙන මෙම චාරිකාවේ අධ්‍යයන ස්ථාන ලෙස ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා නිධිය, සිගිරිය, සහ දඹුල්ල තෝරාගෙන ඇත. මෙම ස්ථාන පිළිබඳව අධ්‍යයනය කරමින් දැණුම, විනෝදය හා පාරිසරික සතුට භුක්තිවිඳිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
x    යාපනය, තී‍්‍රකුණාමලය, මඩකලපුව, පොතුවිල්, ආරුගම්බේ, කුමන, කුඩුම්බිගල, ලාහුගල ඇතුළත් දින 5 චාරිකාව සංවිධානය වෙමින් පවතී. මේ සඳහා සහභාගිවිමට කැමති ශී‍්‍ර ලාංකික ඔබට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.



Monday, July 11, 2011

පාරිසරික හා සංස්කෘතික චාරිකා -2011

මිහිතල මිතුරෝ මගින් 2011 ජුලි 02 වන දින  සංවිධානය කරන ලද පාරිසරික හා සංස්කෘතික චාරිකා -2011 සඳහා මෙවර 63 දෙනෙකුගේ සහභාගිත්වය ලැබුණිි. මෙම චාරිකාව අතිශයින් සාර්ථක  චාරිකාවක් වූ බව එයට සහභාගිවූ සියල්ලන්ගේම පොදු මතය විය. චාරිකාවට සහභාගිවන්නවුන් සඳහා චාරිකා ස්ථානයන්හි ඇති සංස්කෘතික, පාරිසරික, පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම අළලා රචිත වර්ණ පොත් පිංචක් ද ලබා දීමට සංවිධායක මඩුල්ල කටයුතු යොදා තිබුණි. ( මෙම පොත් පිංචෙහි විද්‍යුත් පිටපතක් අවශ්‍ය අයට ඉල්ලූම් කර නොමිලේ ලබා ගත හැකිය. ඒ සඳහා ඔබගේ විද්‍යුත් ලිපිනය ලබා දෙන්න)
මෙම චාරිකාවේදි  අධ්‍යයනය සඳහා පළමුව තෝරා ගෙන තිබුනේ අරන්කැලේ ( ශී්‍ර ලංකාවේ අන්තිම මහරහතුන් වන මලියදේව මහරහතුන් වැඩසිටි තපෝවනය) තපෝවනයයි. බවුන් වඩන භික්ෂුන්ට ඖෂධ ඇඟ ගල්වා උණුපැන් ස්නානය සඳහා වෙන් වූ ජන්තාඝරය, චන්කමනය(සක්මන් මැදුර), අපුර්වතම නිරිමාණයක් වූ සම්මුඛ ලෙන, සිමා මාලකය, පධානඝර,පොකුණු සහ පෙත් මං මෙන්ම කුරුල්ලන්, සමනළුන් හා අංකටුස්සන් නැරඹිය හැකි නිසසල පරිසර පද්ධතියක් නැරඹීමට සහභාගිකයින්ට වාසනාව ලැබුණි.
දෙවන ස්ථානය වූයේ රැස්වෙහෙරයි. අව්කන බුදු පිළිමයට නෑකම් කියන අඩි 42 අඟල් 4 ක් උස්වූ ශෛලමය පිළිමය, දෙතිස් ඵල බෝධිය, හා අතින් වියන ලද සිවුරක් අන්දවා පසුව බදාම ගා සකසන ලද සැතපෙන බුදු පිළිමය මෙහි දි දැකිය හැකිය. ( මෙම ස්ථානය පිළිබඳව සැකසුනු විඩියෝ වාර්තා වැඩසටහනක් ඔබේ විද්‍යුත් ලිපිනයට නොමිලේ ලබා ගත හැකිය)
තෙවන ස්ථානය වූයේ හත්ථීකුච්ඡි  විහාරයයි.
බස් රථයේදී "මිහිතල එෆ් එම්" මෙහෙය වූ වැඩසටහන් සියල්ලන්ගේම දැණුමට හා විනෝදයට හේතු විය. විශේෂයෙන් " පුළුවන්නම් දිනා ගන්න " වැඩ සටහන ජනපි්‍රය විය. සහභාගිකයින්ට තෑගි පිරිනමන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වු එය එදින චාරිකාව නැවත සමාලෝචනය කිරිමකි. සහභාගිවූ තරඟ කරුවන් 5 දෙනෙකු අතුරෙන් තිදෙනකු මුදල් ත්‍යාග දිනා ගැනිමට සමත්විය.

කොඩිගහකන්ද වනපෙත අභය භූමියක් බවට.......

මිහිතල මිතුරෝ සහ කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම විසින් කරන ලද ඉල්ලීමකට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොඩිගහකන්ද වනපෙත අභය භූමියක් ලෙස ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. කළුතර දිස්ති්‍රක්කයේ ප්‍රථම වනජීවී කලාපය බවට පත්වන මෙම වනපෙතෙහි මායිම් නිර්ණය කිරීම සඳහා 2011 ජූනි 28 වන දින වනජීවී සහකාර අධ්‍යක්ෂ සුරවිර මහත්මාගේ ප්‍රධානත්වයෙන් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් පැමිනියේය. මෙදින මෙම අවස්ථාවට සහභාගිවිම සඳහා හොරණ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, ප්‍රාදේශිය සභා නිලධාරීන්, ග්‍රාම නිලධාරී තුමිය, හා ඉහත සංවිධාන දෙකෙහි නිලධාරීන් හා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය.