Friday, October 28, 2011

අපේ පරිසර නිවහනට ගෙවැදුනු ඒ අසිරිමත් දා......



එදා 2011 ක් වු සැප්තැම්බර් 25 වන ඉරුදිනයයි. හිමිදිරි උදෑසන අරුණාලෝකය පැතිරෙද් දී විහඟ ගී නද දසත රැව්දෙන්නට පටන් ගත්තා. වසර කිහිපයක් පුරා පිරූ පෙරුම් දම් මල් ඵල ගැන්වෙන දිනය එළඹී ඇත. මේ එළඹ ඇත්තේ මිහිතල මිතුරන් සහ කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම එක්ව තම දහදියෙන් ගොඩනැගි ජෛවවිවිධත්ව මධ්‍යස්ථානයට ගෙවදින මංගල දිනයයි. මහා සංඝරත්නය, ආරාධිතයින්, මාධ්‍යවේදින්, පරිසර කි්‍රයාධරයින් සහ හිතවතුන් මෙන්ම සංවිධාන දෙකේ සාමාජික සාමාජිකාවන් පිරිවරාගෙන චාම් එහෙත් අභිමානවත් අයුරින් මෙම උත්සවය ඇරඹුනා.
පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් කළුතර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්ති්‍ර විදුර වික්‍රමනායක මහතා ප්‍රමුඛ ගිහි පිරිසත් හරියටම උදේ 09.27 ට යෙදුනු සුබ මුහුර්තයෙන් අපේ පාරිසරික නිවහනට ගොඩවැදුනා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් හඩ මධ්‍යයේ කිරි උතුරුවා සෞභාග්‍යමත් අනාගතයට පැතුම් පොදි බැඳ ගත් පිරිස පොල්තෙල් පහන් සිළු දල්වමින් පඥාවේ ප්‍රදිපාලෝකය දල්වා ලුවා. ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමාධිපති අතිගෞරවණිය පණ්ඩිත උඩුවේ හේමාලෝක හිමිපාණන් විසින් පැමිනි සැම පංචශිලයෙහි පිහිටුවීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩ ඇරඹුනා. මිහිතල මිතුරන්ගේ වසර 17 ක ගමන් මගෙහි මහා වනස්පතීන් සේ හිඳිමින් එම මග එකළු කරමින් සිටියදී සදහටම අප හැරගිය සැබෑ සහෘද හිතවතුන්ට උපහාර පිදෙන උත්තම පුජා පූජෝපහාරය පිරිනැමුනේ සියල්ලන්ගේම දැසට කඳුළක් එක් කරමින්. මිහිතල මිතුරෝ සංවිධානයේ ප්‍රථම උපලේකම් ප්‍රැන්සිස් ඕමත්තගේ, භාණ්ඩාගාරික ධුරය හොබවමින් සිටිය දී අපහැර ගිය එල්. ඩී. විජයපාල මහතා, 1995 - 1998 කොඩිගහකන්ද ජෛවවිවිධත්ව පර්යේෂණය සිදු කළ වනජීවීභාරයේ වැඩසටහන් නිලධාරීව සිටියදී හදිසි අනතුරකින් අප හැර ගිය ශී්‍ර ලාල් නිශාන්ත හෙට්ටි ආරච්චි මහතා සමරමින් ඔවුන්ගේ පිළිරූ මල්දමින් සැරසූයේ ඔවුන්ගේ ඥාතීන් විසිනි.
පිළිගැනීම හා අරමුණ පැහැදිලි කරමින් මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ සභාපති කරුණාදාස මුණගම මහතා උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය. කොඩිගහකන්ද වනාන්තරය සංරක්ෂණය කිරීමට අපි ආරම්භ කරපු ගමන් මගේ එක් ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස තව නොබෝ දිනකින් මෙම වනපෙත කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම වනජීවී කලාපය ලෙස අභයභුමියක් බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එය අපි සියළු දෙනාම සාමූහිකව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් . අපි මෙම ස්ථානයේ ගොඩනගල තියෙන පාරිසරික නිවහන ඉදිරියේදී මෙම වනපෙත අධ්‍යයනයට පැමිනෙන පරිසර කි්‍රයාධරයන්ට මහඟ තෝතැන්නක් වේවි. මෙම නිවහන සියයට අනූවක්ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය වූවක්. මෙම නිවහන හදන්න අපේ සංවිධානයේ පුංචිම සාමාජිකයාගේ පටන් වැඩිහිටි සාමාජිකයා දක්වා කැපවුනා. කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනමේ සියළු දෙනාම මේ සඳහා ලබා දුන් සහයෝගය ඉමහත්. ඒ නිසා මෙම ජෛව විවිධත්ව මධ්‍යස්ථානය කැපවිමේ හා පරිත්‍යාගයේ සංකේතයක්. ඒ වගේම යම්  කෙනෙකුට ප්‍රජා සහභාගිත්වයෙන් වනාන්තරයක ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්නෙ කොහොමද කියල දැන ගන්න ඔනිනම් එන්න අපි ලඟට. අපි ඒ වැඩේ ඉතාමත්ම ඉහළින් කරළ තියෙනව. ඒ විතරක් නෙමෙයි, මුදල් වෙනුවෙන් ඕනෑම ජඩවැඩක් කරන්න සුදානම් වුනු මෙවන් අවධියක තමන්ගෙ පුද්ගලික මුදල් යොදවල වනාන්තරයක් මිලදී ගෙන එය සොබාදහම පරිත්‍යාග කරපු මිනිසෙක් සිටිනවානම් ඒ රෝහණ සොයිසා මැතිතුමන් විතරයි. එබැවින් එවන් සැබෑ මිනිසුන්ට අප සැමගේ උපහාරය හිමි විය යුතුයි.
මෙම උත්සව සභාව අමතමින් කළුතර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්තී්‍ර විදුර වික්‍රමණායක මැතිමන් උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුවට ගොස් අනාගත පරම්පරාව වෙනුවෙන් කළ ඉහළම කටයුත්ත කොඩිගහකන්ද අභයභූමියක් බවට පත් කිරීමට තමන්ට දායක විමට හැකිවීම බව පැවසීය. රටේ සිදුවන ඕනෑම පරිසර විනාශයක කෙළවර දේශපානඥයෙක් සිටින බව ද සංවර්ධිත රටවල් බලහත්කාරයෙන් අප මත පටවන ලද බොහෝ දේවල් අපට ඉමහත් ව්‍යසන කාරී දේවල් බවට පත්වී ඇති බවද පැවසීය.
මෙම උත්සව සභාව අමතා පානදුර තොටමුන සහිත රයිගම් සල්පිටි දෙකෝරලත්‍රයේ අධිකරණ සංඝනායක, ශී්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ, තලගල මංගලාරාමාධිපති තලගල සුමනරතන නායක හිමිපාණන් වහන්සේ අනුශාසනාවක් කළ අතර හෝමාගම ප්‍රාදේශීය සභා මන්තී්‍ර මහින්ද උඩුවන මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජෙෆ්/එස් ජී පී වෙනුවෙන් ශිරන්ති මහත්මිය, කොඩිගහකන්ද සංරක්ෂණ ප්‍රජා පදනම වෙනුවෙන් එහි සභාපති ජී.පේමදාස මහතා, රොහාන් ද සොයිසා මහතා සභාව ඇමතීය. අනතුරුව පෙ.ව. 11.32 ට පාරිසරික නිවහනේ ඉඳුල් කිරීමේ චාරිත්‍රය සිදුවූ අතර සියළු දෙනාටම කිරිබත් කැවුම් කොකිස් ඇතුළු රසවත් තේ පැන් සංග්‍රහයක රස භුක්ති විඳිමටද හැකිවිය.