Friday, July 27, 2012

 නොනිමි ගමනක යුග මෙහෙවර
පළමු දිග හැරුම

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ 18 වසරක ගමන් මග

මිහිතල මිතුරෝ බ්ලොග් සටහන් කියවන අපේ ආදරණිය පාඨකයින්ට අපේ ගමන්මග පිළිබඳව යම් අවබෝධයක් ලබා දීමට අපි අදහස් කළා. ඒ අනුව අපේ ඉතිහාසයේ පළමු පිටුව මෙසේ ඔබ වෙනුවෙන් දිග හැරෙනව. මෙය කියවන ඔබේ අදහස් බිඳක් මෙහි සටහන් කරන්නට අමතක කරන්න එපා.

 ගමනක ඇරඹුම

 ඒ 1994 බිනර පුන් පෙහෝ දිනය ( 1994 සැප්තැම්බර් 19 ) . කළුතර දිස්ති‍්‍රක්කයේ හොරණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ඔළබොඩුව උතුර ග‍්‍රාමයේ පිහිටි කොඩිගහකන්ද වනපෙත පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරත වෙන්න තරුණයින් 15 දෙනෙක් උදෑසනින්ම පිටත් උනා. වනාන්තරය හා ඒ හාත්පස සියල්ල නිරික්ෂණය කළ තරුණ පිරිස ආපසු පිටත් උනේ එක් අධිෂ්ඨානයක් පෙරදැරි කරගෙන. මෙම වනපෙත දැඩි තර්ජනයකට මුහුණ දී ඇති නිසා ඒ වෙනුවෙන් සංවිධානාත්මකව යමක් කළ යුතුය යන හැගීම ඔවුන් තුළ දැඩිව තිබුනා. කන්දෙන් පහළට බැස ගත් ඔවුන් පොල් ගසක් මුල වාඩිගෙන ඒ ගැන සාකච්ඡුා කළා. සංවිධානයක් අරඹන්න තීරණය කළා. එතැන් සිට සාකච්ඡා වට කිහිපයකින් පසු 1995 පෙබරවාරි 14 වන දින 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැුස්වී මිහිතල මිතුරෝ පරිසර සුරැුකුම් පදනම නමින් සංවිධානයක් ඇරඹිමට තීරණය කළා.

 ජනතාව අතරට පිවිසෙමින්

 ඒ 1995 මාර්තු 12 වෙනිදා. එදා විචිත‍්‍රවත් දවසක්. පුංචි උනත් මනා සංවිධානයකින් සංවිධානය කළ මිහිතල මිතුරන් මහජනයා වෙතට පියමං කල ‘‘ මහා පරිසර මංගල්‍යය ’’ පැවැත්වූ දවස. කොඩිගහකන්ද පාමුළ පිහිටි සොයිසා වරුන්ගේ නිවාඩු නිකේතනය ‘‘ උඩබංගලාව ’’ භුමිය, හරිම අපූර්වත්වයකින් පිරී තිබුනා. ජපානයේ අකිහිතෝ අධිරාජයා කුමාරයා කාලයේ රෝපණය කළ අසෝක ගස කහපාට මලින් බරවෙලා උළෙල වර්ණවත් කළා. වැඩම කළ මහා සංඝරත්නය අසෝක ගස පාමුල වැඩ සිටි අතර දසසිල් මෑණිවරුන් ද පසෙකින් වැඩ සිටියා. අසෝක මල්වල පාටයි සිවුරුවල කහ පැහැයයි මැවුවෙ ලොව්තුරු දසුනක්. දහම් පාසල් සිසුන් පරිසර පාට රැගත් පුවරු රැගෙන පෙරහැරින් කඳු තරණය කරගෙන උත්සව භුමියට පැමිණියා. මුලසුන ගල්ලෙන රජ මහා විහාර පරිසර පදනමේ නිර්මාතෘ පූජ්‍ය පෝරුව දණ්ඬේ සුමන හිමිපාණන් ඉසිලූවා. මහාචාර්ය සරත්කොටගම මහතා ඇතුලූ පරිසර වියතුන්ගෙ දෙසුම් වගේම දහ අට සන්නිය, ‘‘කොක්සන්නිය’’ කෙටි නාට්‍යය, වෙස් මුහුණු ප‍්‍රදර්ශන ආදියෙන් පරිසර මංගල්‍යය හැඩ වැඩ උනා. එදා පටන් මිහිතල මිතුරෝ ප‍්‍රජාවත් සමග පරිසර සංරක්ෂණයට පිවිසුනා.

 තම පුද්ගලික ධනය වැය කරමින් කොඩිගහකන්ද වනපෙත මිලට ගෙන ජාතියට දායාද කළ රොහාන් ද සොයිසා මැතිතුමා උත්සව සභාව අමතමින්


මහාචාර්ය සරත් කොටගම මැතිතුමා අනාගත පාරිසරික අභියෝග පිිළිබඳව ජනතාව දැනුවත් කරමින් .....


 
දේශීය නැටුම් වළින් උළෙල වර්ණවත් වෙමින්....

ජසයා හා ලෙන්චිනා කෝලම රඟ දක්වමින්..... පසු බිමෙහි පෙනෙන්නේ සොයිසා වරුන්ගේ ප‍්‍රතාපවත් ‘‘ උඩබංගලාව’’ නමින් හඳුන්වන වලව්වයි

කොඩිගහකන්ද සහ ඓතිහාසික උඩබංගලාව සංරක්ෂණය කිරීමේ අරමුණ කරා කෙමෙන් කෙමෙන් පියමංකළ මෙම සංවිධානය ඒ සඳහා විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කළා. ආගමික හා සංස්කෘතික අමාත්‍ය ගරු ලක්ෂමන් ජයකොඩි මැතිතුමා 1995 ජූලි 11 වන දා උඩබංගලාව භුමියට චාම් උත්සවයක් සඳහා පැමිණියා. එදින හරිම අපුර්ව සිදුවීමක් සිදු උනා.
එදා 1958 අවුරුද්දේ ජපානයේ අකිහිතෝ කුමාරයා සොයිසා මැතිඳුන්ගේ ආරාධනයෙන් මෙම උඩබංගලාව භුමියට පැමිණ සියළු ආගන්තුක සත්කාර විඳ අවසානයේ සොයිසා මැතිඳුන් අමතා
‘‘ ඔබතුමා මට බොහෝ සත්කාර සම්මාන පැවැත්වූවා. දැන් ඉතින් ඔබ තුමාට මගෙන් අවශ්‍ය කුමක්ද? ’’ යැයි කුමාරයා සොයිසා මැතිඳුන්ගෙන් විමසා ඇත. එවිට සොයිසා මැතිතුමා ‘‘ මට හැම දෙයක්ම තියෙනව. ඒ නිසා ඔබ තුමාගෙන් මට කිසිවක් අවශ්‍ය නැහැ. ඔබ තුමාට මගෙන් තව මොනව හරි  ඕනැනම් කියන්න ’’ යැයි පවසා ඇත. එවිට කුමාරයා මිදුලේ පසෙක තිබු තැඹිලි ගසක් පෙන්වා එහි ගොක් අත්තක් සමග තැඹිළි මලක් කපා දෙන ලෙස ඉල්වා ඇත. එවිට කුමාරයාට එය ලබා දී ඇත. කුමාරයා මෙම තැඹිළි මලද රැගෙන නැවෙහි යද්දි තැඹිළි මල ඉහිරෙන්නට පටන් ගෙන ඇත. එවිට ගොක් අත්තේ කොළයකින් එය බැඳ ඇත. තුමාරයා ගොක් කොළයකින් බඳින ලද තැඹිිළි මල ඇත් දළ කැටයම් කරුවකට දී එය කැටයම් කර සොයිසා මැතිඳුන්ට සිහිවටනයක් ලෙස එවා ඇත. එය සුරැකිව උඩබංගලාවේ කෞතුකාගාරයේ ආරක්ෂාවි තිබුණි. එහෙත් අතිශයින්ම වටිනා අගනා භාණ්ඩයන් මෙන්ම දිවයිනේ පැවති එකම පුද්ගලික පක්ෂි කෞතුකාගාරය පැවති මෙම උඩබංගලාවේ සියල්ල වෙන්දේසියේ අලෙවි විය. මෙම අමිල ඇත් දැළ කැටයම රත්නපුර ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වූ පොඩි අප්පුහාමි මහතා විසින් මිල දී ගෙන ඇත. එම මහාර්ඝ වස්තුව එදා පොඩි අප්පුහාමි මහතා විසින් රැුගෙන විත් තිබුණි. ඇමතිතුමා අතට එය ලබාදෙන ලදී. එදා සංස්කෘතික ඇමති තුමා මෙම වනාන්තරයත් උඩබංගලාවත් සංරක්ෂණය සඳහා පියවර ගන්නා බවට පොරොන්දු උනා.

 තවත් කොටසක් ලඟදීම.......