Tuesday, August 12, 2014

ගිනියම් වු මිහි මඩල නිවා සනහන්නට සිහිල් දිය පොදක් ........ දේශගුණික විපර්යාස පිළිබද ජන සමාජ කතිකාව

ගිනියම් වු මිහි මඩල නිවා සනහන්නට සිහිල් දිය පොදක් ........ දේශගුණික විපර්යාස  පිළිබද ජන සමාජ කතිකාව

දේශගුණික විපර්යාස පිලීබද ජාතික සංසදය මගින් ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයේ දායකත්වය සහිතව සංවිධානය කළ දේශගුණික විපර්යාස පිළිබද ජන සමාජ කතිකාව ජූලි 20 - 23 බණ්ඩාරගම අළුත්ගම සර්වෝදය සංවර්ධන පුහුණු කේන්ද‍්‍රයේ දී අති සාර්ථක අන්දමින් පැවැත්වුනු වග සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි. 

දිවයිනේ සිව් දෙසින් ජන සමාජ නියෝජිතයින් ජුලි 20 වෙනිදා සවස 05.00 පමණ වෙන විට සර්වෝදය සංවර්ධන මධ්‍යස්ථානයට රොක් වුනේ කලකින් මෙවන් එකමුතුවකට ලැබුනු මහගු අවස්ථාව ගැන හද පුරවා ගත් සතුටින්. ජන සංවිධාන නියෝජනය කරමින් පරිසර ක්ෂේත‍්‍රයේ කි‍්‍රයාධරයින් ලෙස ඉමහත් කැපවීමක් කළ 62 ක පමණ පිරිසක් වැඩසටහන සාර්ථක කර ගැනීමට රොද බැන්දා. බොල්ගොඩ නදිය නිසලව ගලායන සුන්දරත්වයෙන් පිරිපුන් රමණිය පරිසරයක මෙම පුහුණු මධ්‍යස්ථානය පිහිටා තිබුනා.

බොල්ගොඩ නදී කොමළිය නිසලව ගලා බසියි.......

ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාව

ජූලි 17 වන දා බොල්ගොඩ නදිය අසබඩ පිහිටි දේශන ශාලාවට එක්වූ රටේ විවිධ ප‍්‍රදේශ වලින් පැමිණි ප‍්‍රජා නායකයින් ශී‍්‍ර ලංකාවේ වත්මන් පාරිසරික අභියෝගයන් පිළිබදව එප්පාවල නායක හාමුදුරුවෝ නමින් කවුරුත් හදුනන මහාමාන්කඩවල පියරතන නායක හාමුදුරුවන් සමග විවෘත සංවාදයක නිරත වුනා.


18 වෙනිදා උදෑසන 09.00 ට දේශගූණික විපර්යාස පිළිබද ජන සමාජ කතිකාවතේ සමාරම්භක උත්සවය ඇරඹුනා. උතුරු-නැගෙනහිර දෙපළාතේ ද්විතීයක සංඝනායක මහමාන්කඩවල පියරතන හිමිපාණන් සහ කඹුරුපිටියේ බෝධිසීහ හිමිපාණන් වැඩම කර සිටි අතර ප‍්‍රධාන ආරාධිත අමුත්තා හැටියට තාක්ෂණ පරමාණුක බලශක්ති පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක අමාත්‍ය තුමා සහභාගි උනා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පරිසර පහසුකම් සුළු මුළ්‍යාධාර වැඩසටහන් ජාතික සම්බන්ධීකාරිකා ෂිරීන් සමරසූරිය මැතිණිය ද ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති හා ප‍්‍රධාන විධායක සුරංජන් කොඩිතුවක්කු මහතා ද සර්වෝදය ශ‍්‍රමදාන සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණවර්ධන මහතා ද දේශගුණික විපර්යාස පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ රංජිත් විමලසිරි මහතා දආරාධිතයින් හැටියට සහභාගි උනා. 

ගරු අමාත්‍ය චම්පික රණවක මහතා සිය දෙසුම පවත්වමින් .........

සිය දෙසුම අරඹමින් චම්පික අමාත්‍ය තුමා අනාගත ලෝකය මුහුණ දෙන අභියෝගයන් අතර ප‍්‍රමුඛස්ථානයක් දේශගුණික විපර්යාසයන්ට හිමිවන බව පැවසූවා. අපේ සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයන් සැළකීමේ දී පරිසර සාධකය නොතකා හැරීම කණගාටුවට කරුණක් බවත් ගෝලීය උණුසුම සදහා වැඩිපුරම බලපාන්නේ පොසිල ඉන්ධන දහනය බවත් බලශක්තිය සදහා දුවයන මිනිසා සිය විනාශය කරා ගමන්කරමින් සිටින බවත් පැවසීය. තව දුරටත් සිය දේශනය පවත්වමින් එතුමා පැවසූයේ සංවර්ධනයේ නාමයෙන් ඉදිවන අධිවේගී මාර්ග හෝ වරායවල් හෝ මහා තට්ටු ගොඩනැගිලි හෝ කිසිදා අපේ වටිනාකම් නොවන බවය. මේ ඉදිවන නගර අනාගත කොන්කී‍්‍රට් ඩයනෝසරයන් ලෙස හැදින්විය හැකිබව හේ වැඩි දුරටත් පැවසීය. අපේ සැබෑ වටිනාකම් වනුයේ ජෛව විවිධත්වය,ජලසම්පත වැනි සොබාවික සම්පත් බව පැවසූ එතුමා දේශගුණික විපර්යාසයන් හමුවේ ඇතිවිය හැකි අනිටු ප‍්‍රති විපාකයන්ට මුහුණ දීමට ජන සමාජය දැනුවත් කිරීම හා සූදානම් කිරීම සදහා දේශගුණික විපර්යාස පිළිබද ජාතික සංසදය හරිත ව්‍යාපාරයත් සමග ගන්නා මෙම උත්සාහය අතිශයින්ම ඵලදායක කාර්යයක් ලෙස අගයන බවද පැවසීය.


මෙම ජන සමාජ කතිකාවත සදහා දේශගුණික විපර්යාස පිළිබද ජාතික සංසදය මගින් සම්පාදනය කරන ලද ‘‘ජාතික ක‍්‍රමෝපාය බලගැන්වීම සදහා ජන සමාජයේ වගකීම’’ නම් කෘතිය දේශගුණික විපර්යාස පිළිබද ජාතික සංසදයේ ගරු සභාපති සහ ජාතික සංවිධායක සම්පත් ආරියසේන මහතා විසින් ගරු අමාත්‍ය තුමන් වෙත පිළිගැන්වීමේ අවස්ථාවයි මේ.


ජෙෆ්/එස්ජීපී වැඩසටහනේ ජාතික සම්බන්ධිකාරිකා ෂිරීන් සමරසූරිය මහත්මිය ජන නායකයින් අමතා සිය අදහස් දක්වමින් කියා සිටියේ දේශගුණික විපර්යාසයන්ට අනුගතවීමේ කි‍්‍රයාකාරී වැඩසටහන්වලට ගම් මට්ටමෙන් ජනතාව පෙළ ගැස්වීමට සියළු සංවිධාන කැපවීමෙන් කි‍්‍රයාකිරීම අවශ්‍යම කාලය දැන් උදාවී ඇතිබවය.

උදෑසන 11.00 ට පමණ මෙම කතිකාවතේ දෙවන සැසිවාරය ඇරඹුනි. දේශගුණික විපර්යාස පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ රංජිත් විමලසිරි මහතා විසින් දේශගුණික විපර්යාසයන් පිළිබදව ඇති ජාත්‍යන්තර එකගතාවයන් පිලිබදවත් පරිසර අමාත්‍යංශය විසින් සකස ලද ක‍්‍රමෝපායික සැළැස්ම පිළිබදවත් දැනුවත් කරන ලදී.  


දේශගුණික විපර්යාසයන් යනු කුමක්ද ? එහි විවිධ පැතිකඩයන් පිළබදව දැනුවත් කිරීම ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයේ රොෂාන් ෂමින්ද මහතා විසින් සිදු කළ අතර දේශගුණික විපර්යාසයන් පිටු දැකීම සදහා ගෝලීය ප‍්‍රයත්නයන් පිළිබදව ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති හා විධායක නිලධාරී සුරංජන් කොඩිතුවක්කු මහතා විසින් දැනුවත් කරන ලදී. 


පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ගාමිණි ගමගේ මහතා විසින් ‘‘දේශගුණික විපර්යාසයන් ජෛව විවිධත්වයට සිදුකර ඇති බලපෑම’’ පිළිබදව ප‍්‍රජා නායකයින් දැනුවත් කරන ලදී. 


දේහගුණික විපර්යාස නිසා බලපෑමට හසුවන ජෛව පද්ධති හා මානව සමාජයට සිදුවන හානිය ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් බලන්නේ කෙසේද? ඒවා මූල්‍යමය වටිනාකම් ලෙස ගණනය කරන්නේ කෙසේද? මෙය තරමක් සංකීර්ණ විෂයකි. මේ පිළිබදව මෙම කතිකාවතේ දී ප‍්‍රජා නායකයින් දැනුම්වත් කරන්නට පැමිණියේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රසාන්ති ගුණවර්ධන මහත්මියයි. 

සිය ආත්මයම සිදගත් , දේශපාලනය සිය ආත්මාර්ථකාමී පටු උවමනාවන් වෙනුවෙන්ම යොදාගන්නා පොදු දේපල කිසිදු හිරිකිතයකින් තොරව මංකොලල්ලා කන දේශපාලනඥයන්ගෙන් පිරි වත්මන් ශී‍්‍ර ලංකාව තුළ දේශපාලනය මහජන සේවයක් බවට පත් කරගත් එමෙන්ම තමන්ට ලැබුණු බලය සොබාදහම සංරක්ෂණය කිරීම පිනිස යෙදවීමට උනන්දුවන පරිසර කි‍්‍රයාධරයෙක් ලෙස කවුරුනුත් හොදින් හදුනන කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මංතී‍්‍ර විදුර වික‍්‍රමනායක මහතා මෙම කතිකාවතට සහභාගිවීමට පැමිණිමට තරම් නිරහංකාර විය. එතුමා ප‍්‍රජා නායකයින් සමග කෙටි පිළිසදරක නිරතවිය.


මෙතැන් සිට ඇරඹුනේ සංවාද මණ්ඩප සැසි වාරයයි. (Panel Discussions)

දේශගුණීක විපර්යාසයන් ජෛව විවිධත්වයට හා පරිසර පද්ධති සේවාවන්ට සිදු කර ඇති බලපෑම විමසා බැලෙන මෙම සංවාද මණ්ඩපයේ සම්පත් දායකයින් ලෙස සහභාගිවීමට ප‍්‍රවීණ පරිසර කි‍්‍රයාධරයෙක් ලෙස රටක් හදුනන රටේ උද්ගතවන පරිසර ප‍්‍රශ්න හමුවේ සිය අභිත හඩ අවදිකරන ඒ සදහා අරගල කරන සජීව චාමිකර මහතා, ජෛව විවිධත්වය සිය අත්දැකීම් හා ජන විඥාණ්‍ය හරහා විග‍්‍රහ කරන පරිසරවේදී අජිත් ලොකුගේ මහතා සහ මොලුස්කාවන් පිළිබදව ශී‍්‍ර ලංකාවේ සිටින ප‍්‍රවීණයෙකු වූ මහේෂ් පි‍්‍රයදර්ශන මහතා සහභාගිවිය


දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය පිළීබදව කථා කරන විට බොහෝ දෙනෙකුට සිහිපත් වන්නේ හිම වළසාය. දේශගුණික විපර්යසයන් නිසා අවදානමට ලක්ව සිටින්නේ හිම වළසා පමණක්ද ? අපේ අවධානය ඉන් ඔබ්බට ගෙන යමින් අපේ ජෛව පද්ධතීන්ට හා පරිසර සේවාවන්ට දේශගුණික වෙනස්වීම් බලපා ඇති ආකාරය ඉතා සරළව පැහැදිලි කරමින් මෙම සංවාදය පවත්වන ලදී. කාර්ය බහුල දිනයක් එම සැසි වාරය සමගම ගෙවී ගියා.

වැඩමුළුවේ 3 වන දිනය එනම් ජූලි 22 වන දින උදෑසන පරිසර භාවනාවෙන් වැඩසටහන ඇරඹුනා. දවසේ මුල්ම සංවාද මණ්ඩපය වෙන් උනේ දේශගුණික විපර්යාස නිසා බලපෑමට හසුවූ ගොවිතැන හා ධීවර කර්මාන්තය පිළිබදවයි. මේ සදහා සම්පත් දායකයින් ලෙස දේශිය පාරම්පරික ගොවිතැන පිළිබදව පර්යේෂකයෙක් ලෙස අති විශාල මෙහෙවරක නිරත වන මතුගම සෙනෙවිරුවන් මහතා, දේශිය බීජ සංරක්ෂණය සදහා රටේ විවිධ ප‍්‍රදේශයන්හි ගොවීන් සමග දශක කිහිපයක සිට වෙහෙසෙමින් මහගු සේවාවක නිරතවන පී.ගුරුසිංහ මහතා, පුහුණු උපදේශක ධර්මසේන අලගියවන්න මහතා සහ ධිවර ක්ෂේත‍්‍රය පිළිබදව පර්යේෂක උපුල් ජයසිංහ මහතා සහභාගි විය.


දේශගුණික විපර්යාස නිසා දැඩි ලෙස තර්ජනයට මුහුණ දෙන ක්ෂේත‍්‍රයන් දෙකක් ලෙස ගොවිතැන හා ධිවර කර්මාන්තය හැදින්විය හැකිය. විශේෂයෙන් නියගය හා ගංවතුර, කෘමිහානි වැඩිවීම, බෝග අස්වනු අඩුවීම ආදී කෘෂි ක්ෂේත‍්‍රයේ ගැටළු මෙන්ම සාගර ජල මට්ටම ඉහළ යාම, මත්ස්‍ය අස්වනු අඩුවීම ආදී ගැටළු ද සංවාදයට භාජනය වූ අතර ඒ සදහා ජන සමාජය ලෙස එම බලපෑම්වලට අනුවර්තනය විය හැකි අකාරයන් පිළිබදව ද අවධානය යොමුවිය.

සංවාද මණ්ඩප සැසිවාරයේ ඊලගට අවධානය යොමු කළ ක්ෂේත‍්‍රය වූයේ දේශගුණික  විපර්යාස නිසා බලපෑමට හසුවන මානව ජනාවාස හා නාගරික සංවර්ධනයයි. ඒ සදහා සම්පත් දායකත්වය සැපයීමට සෙවනත ආයතනයේ උප සභාපති රන්ජිත් සමරසිංහ මහතා ද මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය චතුර ද සිල්වා මහතා ද සහභාගි විය.


දේශගුණික විපර්යාසයන් හේතුවෙන් බලපෑමට හසුවිය හැකි තවත් ක්ෂේත‍්‍රයක් පිළිබදවයි ඊලගට අවධානය යොමු වූයේ. ඒ තමයි අපේ ජාතික උරුමයන්. මේ සදහා සම්පත් දායකත්වය ලබා දුන්නේ යුනෙස්කෝ ආයතනයේ විධායක ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මියයි.


මෙම ජාතික කතිකාවතේ ඊගලට අවධානය යොමු කලේ දේශගුණික විපර්යාස හමුවේ ජන සමාජ කි‍්‍රයාකාරිත්වය සදහා අවශ්‍ය යෝජනා එක් එක් ක්ෂේත‍්‍රයන් වෙන් වෙන්ව සළකා බැලිමේ කණ්ඩායම් සාකච්ඡුා වාරයටයි. ඒ සදහා කණ්ඩායම් 4 කට වෙන්වී සංවාද ගොඩ නගමින් කරුණු ගොනු කරන්නට පටන් ගත්තා.






22 දා සැදෑ අදුර හෙමින් හෙමින් ගලා එද්දී අපේ වැඩමුළුවට සහභාගි වූ පිරිසට අමතරව තවත් පිරස් සර්වෝදය මධ්‍යස්ථානය වෙතට එක් වන්නට පටන් ගත්තා. ඒ අය අතරේ සර්වෝදය නිර්මාතෘ දේශ දේශ පතල කීර්තිකදමභයෙන් පිරිපුන් ආචාර්ය ඒ.ටී.ආරියරත්න ශූරීනුත් සිටියා. මේ රොද බදින්නේ මියැසි රසෝගයක රස හව් විද ගන්නටයි. රජරට සිට බණ්ඩාර ජයතිලකයන් ප‍්‍රමුඛ ශිල්පින් පැමිණ සිටියා. පීඩිත ජන හදවත් වල දුක් වේදනාවන් හදුනන පටු ජාතිවාදයට එරෙහිව ‘‘සාධු ජනරාව’’ ප‍්‍රසංගය පවත්වමින් රට පුරා ඇවිද ගිය බණඩාර ජයතිලකයන් පැමිණියේ සිය මියුරු හඩින් සොබාදහමට පෙම් බදින්නට රිසි ජන හදවත් ගිතයෙන් සනහා ලන්නටයි. ඒ සමගම අප දිවි ගෙවන සමාජය නිරතුරුව ප‍්‍රශ්න කරමින් වර්තමාන දේශපාලනික සංස්කෘතික පිරිහීම පිළිබදව ගිත කලාව භාවිතයෙන් ජන විඥාණය පුබුදුවන්නට චින්තක ගීතදේවයනුත් පැමිණ සිටියා. ඒ සැදෑව අරුත්බර මිහිරියාවකින් පිරි අපූර්ව සැදෑවක් බවට පත් උනා.



වැස්ස වගේ ඇද හැලෙමු                                                                                                 සුළග වගේ එකට ඉමු                                                                                               මුහුද වගේ මුතු බදිමු                                                                                                     ඉර හදටත් එළිය දෙමු

රතු තොල් විදහා මුදු මුවගේ                                                                                           මිහි මව අපටයි සිනා සුනේ                                                                                             දරුවන් වඩමින් තම ඇකයේ                                                                                       මිහි මව අපටයි කතා කළේ                                                                                             

අහස හඩන හඩ දැනෙන හදක්                                                                               පොළොව හඩන හඩ දැනෙන හදක්                                                                           සෙනෙහස උතුරා ගලන හදක්                                                                                    උදා කරමු අපි එවන් ලොවක්් ...........

සැවොම එක් වී එකට ඒ ප‍්‍රාර්ථනා ගීතය ගායනා කළා.

දේශගුණික විපර්යාස පිළිබද ජන සමාජ කතිකාවතේ අවසන් දිනය එනම් ජූලි 23 දා උදා උනා. 

දේශගුණික විපර්යාසයන් පිළිබදව ප‍්‍රවීණ ලේඛක ( විදුසර පුවත්පතේ දේශගුණ විපරිම සතිපතා ලියන ) ධනේෂ් විසුම්පෙරුමයන් විසින් දේශගුණික වෙනස්කම් පිළිබදව ජෛව දර්ශක පිළිබදව සිදුකරන ලද පර්යේෂණයක ප‍්‍රථිඵල ඉදිරිපත් කළා.

ශී‍්‍ර ලංකා රෙඩ්(REDD) වැඩසටහනේ ජාතික සම්බන්ධිකාරක රන්ජන් ආටිගල මහතා විසින් ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක රෙඩ්(REDD) වැඩසටහන හා ජන සමාජයේ වගකීම පිළිබදව දැනුවත් කරන ලදී.


දිවයිනේ නන් දෙසින් පැමිණි ජන සංවිධාන නායකයින් සිය අනාගත යෝජනාවන් ඉදිරිපත් කරන අවසාන සැසිවාරය සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජගත් පරිසර පහසුකම් සුළු මූළ්‍යාධාර වැඩසටහනේ ජාතික සම්බන්ධිකාරිකා ෂිරීන් සමරූරිය මැතිණිය. ප‍්‍රවීණ පරිසරවේදී සක්‍ිව චාමිකර මහතා සහ දේශගුණික විපර්යාස පිළිබද ජාතික සංසදයේ භාණ්ඩාගාරික ගාමිණි ජයතිස්ස මහතා ඉදිරි පෙළ අසුන් ගත්තා විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරමින් කණ්ඩායම් ලෙස වෙන්වී සකසා ගත් යෝජනාවන් සභාව හමුවේ ඉදිරිපත් කළා.


දින 4 ක් පුරා මුළු මහත් ලොවම දවන මහා ව්‍යසනකාරී පාරිසරික ගැටළුවක් පිළිබදව අපි සංවාදයක නිරත වූයේ හිතට පුංචි අස්වැසිල්ලක් ගන්නට හෝ කාගලකින් හමුනෙවුන මිතුරන් සමග දින කිහිපයක් ගත කරන්නට අවස්ථාවක් පාදා ගන්නට හෝ නොවේ. මේ රුදුරු ව්‍යසනය හමුවේ ජන සමාජයක් ලෙස අපට කළ හැකිදේ නිවැරදිව හදුනා ගෙන ඒ වෙනුවෙන් කි‍්‍රයාත්මක වන්නටය. මෙම කතිකාවත සාර්ථක කර ගන්නට දේශගුණික විපර්යාස පිළිබද ජාතික සංසදයට මූළ්‍යමය දායකත්වය ලබා දුන් ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරයටත් එහි සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී සුරංජන් කොඩිතුවක්කු මහතා , රංජන් කරුණානායක, රොෂාන් ෂමින්ද යන සොයුරන් ස්තුතිපූර්වකව සිහිපත් කරමු. ඒ සමගම මෙම ජාතික කතිකාවත සාර්ථක කරගන්නට සහාය වූ සියළු දෙනා බැතිබරව සිහිපත් කරමු. මහමාන්කඩවල පියරතන නා හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය, ගරු අමාත්‍ය චම්පික රණවක මැතිතුමා, පාර්ලිමේන්තු මංතී‍්‍ර විදුර වික‍්‍රමනායක මැතිතුමා, ෂිරීන් සමරසුරිය මැතිණිය, ඉතා රමණිය භූමියක පිහිටි සර්වෝදය සංවර්ධණ පුහුණු කේන්ද‍්‍රයේ ස්ථානභාර නිලධාරී නියොජ්‍ය අධ්‍යක්ෂ ගුණවර්ධන මහතා රූපසිංහ මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත් විශේෂයෙන් ජාතික සර්වෝදය ශ‍්‍රමදාන සංගමයේ නිර්මාතෘ හා සභාපති ඒ.ටී. ආරියරත්න මැතිතුමන් බැතියෙන් සිහිපත් කරමු' සම්පත් දායකත්වය සැපයූ සියළුම මහත්ම මහත්මීන් ස්තුති පූර්වකව සිහිපත් කරමු. ඒ සමගම තමන්ගේ දින 4 ක කාලය කැප කරමින් මෙම වැඩසටහනට සපැමිණි ජන සංවිධාන නායකයින් ඇතුළු සියළු දෙනා සෙනෙහසින් සිහිපත් කරන්නේ අනාගතය දෙස දැල්වුන යහපත් ප‍්‍රාර්ථනාවන් සමගය.


දේශගුණික විපර්යාස පිළිබද ජාතික සංසදය 


Sunday, August 3, 2014

දයාබර නෙතු කෙවෙනි කදුලින් තෙත් කළ පාරිසරික පියගැට පෙළ ....

දයාබර නෙතු කෙවෙනි කදුලින් තෙත් කළ 

පාරිසරික පියගැට පෙළ ...........

දයාබර මිත‍්‍රවරුණි,

අපේ බ්ලොග් අඩවියට පිවිසෙන ඔබ හිතන්න පුළුවන් ඇයි අළුත් සටහනක් කාලෙකින් නොලියන්නෙ සංවිධානය නිදිද කියල. නැහැ අපි හරිම කාර්ය බහුලයි. ලියන්න දේවල් ගොඩයි. ඒ ඔක්කොම ලියන්න කොහෙත්ම විදිහක් නැහැ. ඒ හින්ද ලගම දේවල් කිහිපයක් පිළිබදව පමණක් කෙටි සටහන් තබන්නයි මේ සූදානමමිහිතල මිතුරෝ තුරුණු බලමුළුව ගොඩනැගීමේ එක් පියවරක් ලෙස පාරිසරික පියගැට පෙළ පාසල් පරිසර වැඩසටහන හදුන්වා දෙන්න පුළුවන්. එහි ප‍්‍රථම පියවර ලෙස 2014 ජූනි 17 වෙනිදා පොකුණුවිට ශී‍්‍ර විනයාලංකාරාරාමයේ දී ( රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පංසල) හොරණ අධ්‍යාපණ කලාපයේ ගුරු වැඩමුළුව පැවැත්වුනා. 

මධ්‍යම පරිසර අධිකාරියේ ද දායකත්වය මේ සදහා ලැබුනා. මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චන්ද‍්‍රිකා හේවගේ මහත්මිය ප‍්‍රධාන ආරාධිත දේශනය සදහා සහභාගි උනා. වැඩසටහන සංවිධානය කරන්න පරිසර උපදේශිකා එච්.ආර්.ආර් පීරිස් මහත්මිය,පරිසර නිලධාරිනී පෙරේරා මහත්මිය වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චන්ද‍්‍රිකා මහත්මියත් ගොඩක් සහාය උනා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයවිලාල් ප‍්‍රනාන්දු මහතාගේ සහායත් නොඅඩුව ලැබුනා.











වැඩසටහන අරඹන්නට පෙර අධ්‍යාත්මික ගුණ වඩන්නට බෝ මළුවට පිය නගන ගුරු මහත්ම මහත්මීන්

මෙම වැඩසටහන ඇරඹෙන්නෙ දැනට අපේ මිහිතලය මුහුණ දෙන පාරිසරික ව්‍යසනය ගැන කියවෙන ගීතයකින් 



එතැන් සිට වැඩසටහන ගැන විස්තර කරන්න බැහැ. ඒ වැඩසටහන බලන්නම ඔ්නි.  ඇත්තෙන්ම වැඩසටහන හොද පෙළ ගැස්මක් සහිත සාර්ථක වැඩසටහනක් බව හැමෝගෙම ප‍්‍රතිචාර වලින් පැහැදිලි උනා
.

ජූනි 20 වෙනිදා බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී ශී‍්‍ර ජයවර්ධණපුර අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සදහා වැඩමුළුව දියත් කළා. ප‍්‍රදාන ආරාධිතයා උනේ මධ්‍යම පරිසර අධිකාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයවිලාල් ප‍්‍රනාන්දු මහත්මයා.

පොල්තෙල් පහන්සිළු දල්වන්නට එක් වුන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයවිලාල් ප‍්‍රනාන්දු මහතා, ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පරිසර නියමු කොමසාරිස් ලිලානි පෙරේරා මහත්මිය, මහරගම අධ්‍යාපන කොට්ඨාශයේ පරිසර නියමු කොමසාරිස් ප‍්‍රියන්ති මහත්මිය ඇතුළු සහභාගික ගුරුවරුන්

පාරිසරික පියගැටපෙළ පාසල් වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායක මිථිල දර්ශන නාගමුව මහත්මා පැමිණි සියළු දෙන පිළිගනිමින් .......

ඉදිරියේ දී පිළියන්දල හා හෝමාගම අධ්‍යාපන කලාපයන්හි ගුරු වැඩසටහන් කරන්න ඉතිරිවෙලා තියෙනව. සැප්තැම්බර් මුල් සතියේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනයේ මෙම පාරිසරික පියගැට පෙළ ඊලග පියවර හැටියට පිංකෙත වැඩසටහන දියත් වෙනවා.