Monday, June 25, 2012

 

 

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම -        සජන මිතුරෝ 

 කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය,                                           ඔළබොඩුව උතර, ගෝනපල හංදිය   

     එන්න මේ අපුර්ව අත්දැකීම විඳගන්න

 මහත්මයාණෙනි/මහත්මියනි,

සිරිලක වනගොමු අතරේ සරමින් අලි ඇතුන් හා හාදවෙමින් ඔවුන්ගේ වගතුග ගැන මහා අත්දැකීම් සම්භාරයක් ලබාගත් ඒ දුර්ලභ මිනිසා මුණගැසෙන්නට ඔබට වාසනාව උදාවි ඇත. ඔහු අලි ඇතුන් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ලාලන ගුණවර්ධන මැතිතුමායි. මේ නම් අතිශයින්ම දුර්ලභ මොහොතකි. කිසි ලෙසකින්වත් මේ භාග්‍යවන්ත මොහොත අත් නොහරින්න. ජීවිතයේ ඔබට මෙවන් අවස්ථාවක් උදා වන්නේ එකම එක් වරක් පමණකි. එබැවින් එන්න

2012 ජූනි 30 වන සෙනසුරාදා හරියටම 07.25 ට

කොඩිගහකන්ද ජෛව විවිධත්වමධ්‍යස්ථානයට,   මේ අසිරිමත් අත්දැකීම විදිගන්නට.

මේ අත්දැකිම විඳගන්නට තරම් උචිතයැයි ඔබ විශ්වාස කරන තවත් එක් අයෙකුට මෙම අවස්ථාවට සහභාගි කරවිමට ඔබට ඉඩහසර ලබා දිය හැකිය.

ස්තුතියි  

 මෙයට


චන්ද්‍රිකා වික‍්‍රමගේ /ලේකම් 

      විමසීම් -: 0713496971




Thursday, June 7, 2012

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය 6 වන වරටත් කොළකැඳ දන්සල සාර්ථකව අවසන් කළ වගයි....

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කරපු කොළ කැඳ දන්සල කියන්නෙත් හරිම අපූරු වැඩක් කියලයි හිතෙන්නෙ. හැම දෙනාම එකට එකතු වෙලා සුහදතාවය බෙදා හදා ගනිමින් සතුට සෙනෙහස එක්තැන් කරන තැනක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවන්. ගමේ හැමෝගෙම එකමුතුවෙන් හා සහයෝගයෙන් සිදුවන මෙම කාර්යයට මෙදා පාර අපේ ළමා සමාජයේ පුංචි සාමාජික සාමාජිකාවො හරිම උනන්දුවෙන් සහභාගි උනා. මොකද මෙදා පාර එහි සියළු කටයුතු වල වගකීම් පැවරුනේ ඔවුන්ටම හින්ද. තරුණ සංවිධානයේ අයියල අක්කල පිටිපස්සෙන් ඉඳල ඒව ගැන හොයා බැලූව විතරයි.

                            කොහොම හරි ජූනි මාසෙ 3 වෙනිදා ඒ කියන්නෙ 2012 පොසොන් පෝයට පෙරදා හවස ඉඳල කට්ටිය කඩියො ටික වගේ වැඩ පටන් ගත්ත.


ගමේ හැමෝගෙම සහයෝගයෙන් එකතු කරගත් විවිධාකාර රස ගුණ සපිරි කොළ වර්ග පිරිසිඳු කරන එකත් ලොකු වැඩක්. මොකද හැම දෙයක්ම සැළකිල්ලෙන් පිරිසිඳුව කරන්න එපායැ. 

 පුංචි අය වගේම ළමා සමාජයේ දරුවන්ගේ අම්මල තාත්තලත් මේ වැඬේට හවුල් උනා.  

 


පිරිසිඳු කරගත්ත කොළ වර්ග හොඳට හෝදන්න වෙනම කට්ටියක් ලෑස්තියි

 


 ඊට පස්සෙ ඒව පුංචි කැබලිවලට කපා ගන්න  ඕනැනෙ මෙන්න ඒකටත් කාංඩෙ සුදානමින්

 දැන් නම් හොඳටම රැ වෙලා. හවස 3.00 ඉඳල වැඩ. පුංචි එවුන්ට බඩගින්න දැනෙනව ඇති. ඒ හින්ද රැ කෑම වේල හරිම විනෝදෙන් එකා වගේ එකතු වෙලා  භුක්තිවින්ද


 කුඩාවට කපාගත්ත කොල ඊලඟට වනේ දාලා පුලූවන්තරම් හීනි වෙන්න කොටා ගන්න  ඕනෑ. ඒකනම් ලේසි වැඩක් නෙමෙයි. පුංචි අත්වලට ඒක බර වැඩියි. ඒත් වැඬේ අමාරුයි කියල අත් අරින්න අපේ පංචි දරුවො සුදානම් නැහැ

 

 වෙහෙස නොබල විනෝදෙන් ඒවැඬේ කරන කොට තරුන සංවිධානෙ අයියල අක්කලත් ඒ වැඬේට උදව් කළා. 


  පොල් ගෙඩි සීයක් හමාරක් ගාන එකත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒකටනම් සහයෝගය දුන්නෙ මිහිතල මිතුරෝ සංවිධානයේ ‘‘සජන මිතුරෝ ’’ කි‍්‍රයාධරයෙක් වුනු ගෝනපල ප‍්‍රසන්න මහත්තය තමයි. තනියෙන්ම ඒ බර කරට අරගෙන දරුවන්ගෙ වැඬේට මහා සහයෝගයක් දුන්නෙ බාධක මැද. මේ සඳහා භාවිතාකළ එතුමාගෙම විදුලි හිරමනය අක‍්‍රිය උනා. තරුණ සංවිධානෙ අය වහාම තවත් විදුලි හිරමනයක් හොයා ගෙන ආව. විනාඩි පහක්වත් ගියෙ නෑ ඒකත් ලෙඩ උනා. ප‍්‍රසන්න මහත්තය අධෛර්ය උනේ නැහැ. මහ ? ගෝනපලට ගිහින් හිරමනයක් හොයා ගෙන ඇවිත් වැඬේ කළා.

කොල ටික හින් වෙන්න කොටල ඊට පස්සෙ කරන්න තියෙන්නෙත් අමාරු වැඩක් ඒ තමා ඒව අතේ විරියෙන් මිරිකන එත.  ඒක කරන්නනම් පුංචි එවුන්ට බෑ. ඔවුන්ගෙ අම්මල වගේම තාත්තලත් වැඬේට හවුල් උනා.

  මිරිකපුව අයෙමත් කොටනව. පස්සෙ පොල් මිරිකල ඉවර වෙලා ඒ පොල් සමග කොළ මිශ‍්‍ර කරල අයෙමත් කොටනව. කොළවල තියෙන සාරය ඔක්කොම වගේ කොහොම හරි මිරිකා ගන්න තමයි වෙහෙසෙන්නෙ. 

මේ සියල්ලෙන් පස්සෙ එන්නෙ කැඳ පිළියෙල කිරිම. ගිනි රස්නෙ නොතකා එක මොහොතක් වත් අත් හරින්නෙ නැතුව හැඳි ගාමින් හරිම රසවත් ලෙස කොල කැඳ නිම වෙනව. 

 දහසකට අධික ජනතාවක් කොළ කැඳ පානය කරන්නෙ හරිම සතුටකින්. පුදුමාකාර රසයක්. ඒවගේම ගුණයත් ඒවගේමයි. අළුයම 4.00 ට උපාසිකාවො සිල් ගන්න පන්සල් යන්න එන කොට කැඳ සුදානමින් මඳ උණූසුමින් යුතු කොළ කැඳ බීල ඔවුන් දරුවන්ට පිං දෙනව. 

 සමහර මව් පියො පුංචි දරුවන්ට පවා කොහොම හරි කැඳ උගුරක් පොවා ගන්න උත්සාහ කරනව. ඔවුන් දන්නව මෙය ඒතරම්ම වටිනව කියල.

 තවත් විශේෂත්වයක් තියෙනව. ඒතමා කැඳ සමග ලැබෙන විශේෂ හකුරු වර්ගය. ඉතාමත් පිරිසිඳුව සැලකිල්ලෙන් නිෂ්පාදනය කරන කිතුල් හකුරු කැබැල්ලක් ඔවුන්ට ලැබෙනව. කටට දා ගත්ත ගමන් හරියට ග්ලූකොස් වගේ දිය වෙලා යනව. මේ හකුරු අපට ලබා දෙන්නෙ මාතර වනසරණ තුරුලතා සංවිධානයේ සභාපති පියතිස්ස මහත්තයගෙ අනුග‍්‍රහයෙන්. ඇත්තෙන්ම එතුමාටත් එම සංවිධානයටත් එම හකුරු නිෂ්පාදනය කරන ප‍්‍රජාවටත් මේ ලබා දෙන අනුග‍්‍රහයට පිං දෙන්න  ඕනෑ.

 ඔබට මෙම පිරිසිදු හකුරු ලබා ගැනීමට වන සරණ තුරු ලතා සංවිධානයේ සභාපති පියතිස්ස මහතා 0716216642 දුරකථනය ඔස්සේ සම්බන්ද කරගන්න