Monday, March 10, 2014

වනාන්තර සුරැුකීමේ ධර්ම යාත‍්‍රාව ........

වනාන්තර සුරැකීමේ ධර්ම යාත‍්‍රාව ........
රුක් දරුවන් පැවිදි කිරීමේ මහා පිංකම සියැසින් දුටිමු........

එදා 2014 පෙබරවාරියේ 27 වන දා. කොළඹ විහාර මහා දේවි උයන් අබිමුව පිහිටි බුදු පිළිමය ඉදිරි පසට මහ සග රුවනත් සොබාදම් හිතැති සැබෑ මානවයන් පිරිසකුත් එකතු උනා. ඒ වනාන්තර සුරැකීමේ ධර්ම යාත‍්‍රාව අරඹන්නයි. මෙම බ්ලොග් සටහන ලියන මිහිතල මිතුරෝ සංවිධානයේ සභාපති කේ.මුණගම වන මට එදින උදෑසන මිල්ලෑව ස.න.ස ළමා සමාජ සදහා පරිසරය හා සොබාදහම පිළිබදව දේශනයක් යෙදී තිබුන නිසා මෙම චාරිකාවට සම්බන්ධ වෙන්න පුළුවන් උනේ මීපේ නගරයේ සිටයි. එහෙත් අප සංවිධානය නියෝජනය කරමින් සචිත්, ජනිදු සහ ලලිත් සිල්වා මහතා කොළඹ සිට චාරිකාවට සම්බන්ධ උනා.  

මේ ඔබ දකින්නේ එම සමාරම්භක අවස්ථාවයි.





රුක් රැුක ගන්නෝ සංවිධානයේ සමාරම්භක සාමාජිකාවක් වූ අයිරාංගනී සේරසිංහ මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගිවිය.   

මහරගම, හෝමාගම අවිස්සාවේල්ල නගර පසුකර සදහම් යාත‍්‍රාව ඇහැලියගොඩ නගරයට සේන්දු වන විට අප හිතවත් රංජිත් මහත්මා ඇතුළු පිරිසක් සිසිල් පැන් සංග‍්‍රහයක් පවත්වා අපේ ගමනට සුබ පැතුව. නගරයේ ජනයා දැනුවත් කරමින් මහා සංඝරත්නය පා ගමනින් වැඩම කළා.





සදහම් යාත‍්‍රාව රත්නපුර නගරය පසු කරමින් .....

රත්නපුර නගරය පසු කර ධර්ම යාත‍්‍රාව පැල්මඩුල්ල නගරයට සේන්දු උනා.


එදින අපේ නවාතැන ගෙස තෝරාගත්තේ තවත් සුවිශේෂී ස්ථානයක්. ඒ තමා පැල්මඩුල්ල නගරාසන්නයේ පිහිටි ‘‘මිතුරු මිතුරෝ ’’ සෙවන.


මිතුරු මිතුරෝ ආයතනයේ නියමුවා කුප්පියාවත්තේ බෝදානන්ද හිමිපාණන්. උන්වහන්සේ පුදුමාකාර ශක්තියක් හා හැකියාවක් ඇති යතිවරයාණන් වහන්සේ නමක්. මෙම සෙවනේ හැදී වැඩෙන්නේ තරුණයන්. යොවුන් වියේ දිවිමග යම් පවිටු ඇසුරක් නිසා මත්ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ මානවකයන් බෝදානන්ද හිමි සෙවනේ හැදී වැඩෙනවා. සමාජය විසින් කුඩුකාරයන් කියල අවඥාවෙන් බැහැර කරන මෙම තරුණයන්ව හදා වඩාගන්න උන්වහන්සේ දරන උත්සාහය අගය කළ යුතුමයි. හැන්දෑවෙ සැදෑ අදුරත් සමග මෙ තරුණයන් බෝ සමිදු සෙවනේ බුදුන් වදින අයුරු අපි බලා හිටියා. ඔවුන් බෝදානන්ද හාමුදුරුවන් සමග එක්ව බුදුන් වදින ආකාරය අදහන්නත් අමාරුයි. නිසි රිද්මයට හරිම අපුරුවට මුළු කණ්ඩායම එක හඩින් ශබ්ද්ධ නගා බුදුන් නමදින අයුරු විශ්මය ජනකයි. මෙම තරුණ පිරිස නියම උපාසක පිරිසක් ලෙස සැදැහැ සිතින් බුදුන් වදින්නට ඔවුන් පුහුණු කළේ කෙසේද? එය විමසා දැනගත යුතුමය.

 හෝරාවකට ආසන්න කාලයක් බුදුන් වදින්නට ගත උනා. වෙලාව රාතී‍්‍ර 07.15 ට පමණ වෙලා. මෙම තරුණ පිරිසත් සමග පරිසරය පිළිබදව සංවාදය ඇරඹුනා. 

සංවාදයට සහභාගිවන තරුණ පිරිසෙන් කොටසක්

මා විසින් වැඩසටහන මෙහෙය වුවා. අපේ මෙම සදහම් යාත‍්‍රාවේ අරමුණ පැහැදිලි කරන්න ඇරයුම් ලැබූයේ ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේටයි. සොරගුණේ ප‍්‍රදේශයේ සිදුවන වන විනාශය හා ඊට එරෙහිව ජනමතයක් ගොඩනගමින් රුක් දරුවන් පැවිදිකරමින් සිදු කිරිමට නියමිත පිංකම පිළිබදව එතුමා තරුණයන්ව දැනුවත් කළා. 

පරිසරය හා සොබා දහම පිළිබඳව පැවති එම සංවාදය අපව විශ්මයට පත් කළා. එ් අන්කවරක් නිසාවත් නොවෙයි. මෙහි සිටි තරුණයන් පරිසරය හා සොබාදහම පිළිබඳව දැක්වූ අදහස් එතරම්ම විශිස්ඨයි. එක් තරුණයෙක් රාජාස්ථාන් කැන්සර් දුම්රිය ගැන කථා කළා. එම දුම්රිය රාජාස්ථාන් දුම්රිය නැවතුම් පළෙහි නතර කරන විට ජනයා පොදිකමින් ඊට නැග ගන්නට උත්සාහ කරන බවත් එසේ පොරකන්නේ පිළිකා රෝහළට යාමට බවත් ඔහු පැහැදිලි කළා. තවදුරටත් ඔහු පවසා සිටියේ ඉංදියාවේ පළිබෝධනාශක වෙළඳපොළ සඳහා මුලින්ම යොදා ගෙන තිබුනේ රාජස්ථාන් ප‍්‍රාන්තය බවයි. අද එහි අතිවිශාල ජනතාවක් පිළිකා රෝගයෙන් පීඩා විඳින බවත් ඔහු පැහැදිලි කළා. අපේ වකුගඩු රෝගය පිළිබඳවත් ඔහු අවධානය යොමු කළා. එම සංවාදයට සහභාගි වූ හැම තරුණයෙක්ම පරිසරය හා සොබාදහම පිළිබඳව හොඳ සංවේදි මනසකින්  නාට්‍ය හා නැටුමින් මෙම සංවාදයට මිහිරක් මෙන්ම අපූරු රසයක් ද එකතු කළා.







බෝදානන්ද හාමුදුරුවන් සමග මිහිතල මිතුරෝ සංවිධානයේ සභාපති තුමා

පසුදින එනම් පෙබරවාරි 28 වන දා අපි බලංගොඩ නගරය පසු කර හල්දුම්මුල්ල හාල්අටුතැන්න නගරයට සේන්දු උනා. පාගමනින් මහා සංඝයා වැඩම කළා. එම පාද යාත‍්‍රාව හාල්අටුතැන්න සිට හල්දුම්මුල්ල නගරය දක්වා ගමන් කළා. ඉන්පසු බෙරගල නගරයට සදහම් යාත‍්‍රාව ලගා උනා.කල්තොට හරහා වේලි ඔයටත් එතැනින් හම්බෙගමුවටත් ගමන් කළ සදහම් යාත‍්‍රාව එදින රාතී‍්‍රය ගත කළේ වේලිඔය මැදබැද්ද ශී‍්‍ර පුලිනතලාරාමය විහාරස්ථානයේයි.  ශාස්ත‍්‍රපති පූජ්‍ය තලන්ගල්ලේ සුධම්ම හිමිපාණන් විසින් එදින රාතී‍්‍රයේ පාරිසරික ධර්මදේශනයක් පැවැත්වූවා. 

පසු දින එනම් මාර්තු 1 වන දා උදෑසන මහා සංඝයා විෂයෙහි මහා සාංඝික දානයක් පැවැත්වූවා. 


මහා සංඝයා පෙරහරින් දනට වඩිද්දී ......

ඊට පස්සෙ පංසල් බිමට අතුරු සිදුරු නැතුව මහා ජන ගගක් ගලන්න පටන් ගත්තා. මහා සංඝයා පෙරටු කොටගත් සදහම් පාද යාත‍්‍රාව වේලිඔය  නගරයේ වීදි ඔස්සේ ඇදී ගියේ වන සංහාරකයින්ට එරෙහි මහා මෙහෙයුමක් දියත්වෙමින් පවතින බවට ඉගි කරමින්.



දස සිල් මෑණිවරුන් ද සදහම් යාත‍්‍රාවට එක් වෙමින් ........


වීදි දිගේ ගලා යන මහජන ගග......






අපේ අනාගතය වෙනුවෙන් මමත් පාරට බැස්සා...... මේ පුංචි දරුවාත් එහෙම හිතන්න ඇති.

 5000 කට ආසන්න මහා ජන ගග ඊලගට වේලිඔය ප‍්‍රධාන හැරවුම් වේල්ල අසල පැවැත්වෙන රුක් දරුවන් පැවිදි කිරීමේ උත්සව භූමියට සේන්දු උනා.

 එය මහා අසිරිමත් මොහොතක්. තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් සොරගුණේ වනාන්තරය සුරකින්නට රොද බැදි මහා ජන ගග අපට කියා පෑවේ අපේ මව් බිමේ සොබාදහමට පෙම් බදින මිනිසුන්ගෙන් පිරී ඇති වගයි. 



අතලොස්සක් වූ නොමිනිසුන් විසින් සිදු කරන පරිසර විනාශය පිටු දකින්නට එක හඩින් සටනට පිවිසි මේ ජනයා ඇත්තෙන්ම අපේ රටට ආඩම්බරයක්.  ආගමික උත්සවයන් ගෙන් පසුව අතපැන් වත් කොට මේ මහා වනපෙත සගසතු කොට පූජා කළා. 



දැහැත් වට්ටියක් පිරිනමා රුක් දරුවන් ප‍්‍රවෘජා භූමියට ඇතුලත් කරන මෙන් මහා සංඝයාට ආරාධනා කරමින්......

ඉන්පසු මහා සංඝයා විසින් කුඹුක් ගසක් පැවිදි භූමියට ඇතුල් කළා.

 


වේලි ඔයෙන් එතෙර වී සොරගුණේ වනපෙත පුරා දිවි ගෙවන මහා වෘක්ෂයන් පැවිදි දිවියට ඇතුල් කළා. 

දස සිල් මෑණිවරුන් ද රුක් දරුවන් පැවිදි බිමට ඇතුළත් කිරීමට දායක උනා.



හැන්දෑවේ මහා සංඝයා වහන්සේ ප‍්‍රමුඛ ජනතාව සොරගුණේ ඓතිහාසික කුඩා කතරගම දේවාල භූමියට සේන්දු උනා. 


මහා සංඝයා විසින් නිකුත් කරන සංඝාඥාව ප‍්‍රකාශයට පත් කර එම ආඥාව සදහන් පුවරුව දේවාල භූමියේ ස්ථාපිත කළා. 


ඒ වගේම එම සංඝාඥාව කතරගම දෙවි හාමුදුරුවන්ට භාර කළේ මහා සංඝයා වෙනුවෙන් මෙම වනපෙත රැුක ගන්නා වගකීම දෙවියන්ට භාර කරමින්.


මෙම බ්ලොග් සටහන කියවා ඉන් යම් හෝ ඵලයක් ලැබුවා නම් ඔබේ පුංචි හෝ අදහසක් ඊට ඇතුළත් කරන්න. මෙහි ඔබේ සටහන තැබීමට අපහසු නම් අපේ ඊ මෙල් ලිපිනයට එවන්න

mihithalamithuro@gmail.com/ mihithala.mithuro@yahoo.com