Saturday, January 11, 2014

උතුරුකොණේ හිනැහෙන සෙල්ලම්මා සොයා ගිය ගමන...........

උතුරුකොණේ  හිනැහෙන සෙල්ලම්මා සොයා ගිය ගමන...........

නාගදීපයේ සාධු නාදයත් නල්ලූර් කෝවිලේ මෘදංග නාදයත් අහන්නට  අපි පිං කළෙමු

මෙම චාරිකාව මිහිතල මිතුරන් විසින් සංවිධානය කරපු චාරිකාවක් නෙමෙයි. කාලෙකට පස්සෙ අපේ මිතුරු කැල එකතු වෙලා සංවිධානය වෙච්ච වාරිකාවක්. වැඩි බරක් දැරුවෙ ආරියසේන සහෝදරයා. අපේ අරමුණ උනේ උතුරත් නැගෙනහිරත් දින 5 කින් නරඹන්න. 

දෙසැම්බර් 21 වන දා අළුයම 1.30 ට අපි ගමන පිටත් උනා. හරියටම උදේ 6 වෙන කොට අපි අනුරපුර ජය ශී‍්‍ර මහාබෝධිය අසළ. මුහුණ කට හෝදගෙන සුදු ඇඳුම් ඇඳගෙන අපි මේ සූදානම ජයසිරි මහා බෝධිය වන්දනා කරන්නයි.

ජය සිරි මහ බෝ සමිඳුන්ගේත් රන්මැලි සෑ රදුන්ගේත් ආශිර්වාදය ලබාගෙන තන්තිරිමලයත් වැඳගෙන අපි මේ පිටත් උනේ මන්නාරමේ තොරතුරු නෙත්දෙකින්ම දැක විමසා දැන ගන්නටයි. අපේ නඬේ හැමෝම වගේ මන්නාරම පා තබන පළමු දවස අදයි. 

 වර්ග කිලෝමීටර් 1505.4 ක භුමියක් වසා පැතිරී ඇති මන්නාරම් දුපත මාන්තොට, මාතොට, මහාතිත්ත,මහපුටු, මාවටුතොට ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වා ඇත. විජයාවතරණය සිදුවූයේ මාතොටින් බවට විශ්වාසයක් පවතී 

මේ අපි දකින්නේ මන්නාරම වැනි ශුෂ්ක දේශගුණික කලාපයක පිහිටි මහා වාපි කර්මාන්තයකි. කි‍්‍ර.ව.459-477 වක වානුවේ ධාතුසේන රජතුමා විසින් කරවූ  යෝධ වැවයි. මෙය විස්මිත නිමැවුමකි. කුඩා වැව් 160 ක් පමණ පෝෂණය ලබන මෙම වැව කුඹුරු හෙක්ටයාර 11,000 කට පමණ දියවර සපයයි. සුප‍්‍රසිද්ධ සහල්නැලිය බිහිවන්නේ මෙම වාපි කර්මාන්තය නිසාය.

කි‍්‍ර.ව.459-477 වක වානුවේ ධාතුසේන රජතුමා විසින් කරවූ         යෝධ වැව

2010 දී රැුම්සාර් තෙත්බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද වාන්කාලෙයි අභය භූමිය හරහා මන්නාරම් දුපතට ලගා වූ අපි මේ දකින්නේ ආසියාවේ ඇති විශාලතම ගස ලෙස සැළකෙන බයෝ බැබ් ශාකයයි. අරාබි වෙළඳුන් විසින් මෙහි ගෙන එන ලදැයි සැළකෙන මෙම ශාකය මන්නාරම් දුපතට ආභරණයක් බඳුය.


වට ප‍්‍රමාණය මීටර් 19.51 ක් හා උස මිටර් 7.5 ක් පමණ වූ            බයෝ බැබ් ගස

තලෙයි මන්නාරම දක්වා ගිය අපට  එදවස ඉංදියාවේ ධනුස්කොඩියේ සිට තලෙයි මන්නාරම දක්වා පැවති නෞකා සේවය(පෙරී) සඳහා ඉදිකර තිබූ ජැටිය දැක බලාගත හැකිවිය. මන්නාරම දක්වා දැන් අළුතෙන් දුම්රිය පාර ඉදිවෙමින් පවතී. මෙතැන් සිට ආදම්ගේ පාලම හෙවත් රාමාගේ පාලම නොහොත් රාම සේතුව නමින් හඳුන්වන ස්වභාවික වැලිපරය  නැරඹිම සඳහා නාවික හමුදාව විසින් විශේෂ බෝට්ටු සේවයක්ද අරඹා ඇත. එක් අයකු සඳහා අයකරනු ලබන්නේ රු. 600 ක් පමණි. තලෙයි මන්නාරමෙන් පිටත් වුන අපි මේ සැරසෙන්නේ යාපනය බලා පිටත් වීමටයි. එ් සඳහා අප තෝරා ගත්තේ මන්නාරම යාපනය මාර්ගයයි.එනම් නාවත්කුලි - කාර්තිව් මන්නාරම් මාර්ගයයි. (A 32) සංගුපිටියට පැමිනෙන කොට කිලාලි කලපු දියේ හිරු මියයමින් තිබුනා.


යාපන කලපුවට අයත් කිලාලි කලපු දියෙහි හිරු මිය යමින් පැවති මොහොත ඉහළින් දැක්වෙන අතර පහතින් දැක්වෙන්නේ හිරු මිය යාමට ස්වල්ප මොහොතකට පෙර කිලාලි කලපුවේ දර්ශනයකි



අපේ හිතවතකු වූ යුධ හමුදාවේ සාර්ජන්ට් වරයකු ලෙස කන්කසන්තුරේ සේවය කරන බන්දුල අමරතුංග සොයුරාගේ සහායෙන් එදින රාති‍්‍රයේ නවාතැන් ගැනීමට යාපන නගරයේම දෙමළ හිතවතකුගේ නිවසක් ලැබිම අපේ කටයුතු සාර්ථක කර ගැනීමට ඉමහත් පිටිබලයක් විය. රාතී‍්‍ර සමාලෝචන සැසියේ දී කණ්ඩායම් 4 කට වෙන්කර වැඩකටයුතු බෙදා දෙනු ලැබූයේ චාරිකාවේ සාර්ථකත්වය සඳහාමය. කණ්ඩායම් නායකයින්ගේ මග පෙන්විම යටතේ එක් එක් කණ්ඩායමට දින වෙන් කරනු ලැබිය.

පසු දින අළුයම අවදිව අපේ යාපන චාරිකාවේ ආරම්භක ස්ථානය වූ නාගදීපය වන්දනා කිරිමට පිටත් උනෙමු



එදින උදේ වරුවම වගේ නාගදීප වන්දනාවට කැප කරන්න උනේ අපේ චාරිකාවේ සංවිධානාත්මක දුර්වලතාවයක් නිසා. කෙසේ නමුත් පතුල නොපෙනෙන ලිඳ බලල කදුරුගොඩ ( කන්දරෝඬේ) විහාරය නරඹන්නට අපි අමතක කළේ නැහැ. මෙම ස්ථානයේ ස්ථුප 60 ක් තිබුන බවට ඓතිහාසික සාධක පෙන්වා දුන්නත් අද දක්නට ඇත්තේ සුළු ප‍්‍රමාණයකි. මෙම බිම අවට පදිංචිකරුවන් විසින් ආක‍්‍රමණය කර ඇත. අක්කර 9 ක් පමණ වූ බිමෙන් අද ඉතිරිව ඇත්තේ අක්කර 2 කටත් අඩු භූමියකි. අතීතයේ දඹකොළ පටුනෙන් ශී‍්‍ර මහා බෝධිය අනුරාධපුරය දක්වා වඩමවා ගෙන ගිය මගේ පිහිටි එක් ස්ථානයක් වූයේ මෙම ස්ථානයයි.

කාලය වේගයෙන් ඉගිල යමින් තිබුන හෙයින් කීරමලේ සහ දඹකොළ පටුන නැරඹිම පසුවට කල් තබා කරෙයිනගර් හි කැෂුරිනා වෙරළ තීරයේ සුන්දරත්වය විඳිමින් හෝරා 2 කට ආසන්න කාලයක් මුහුදු දියේ පිහිනමින්  සිත් සේ විනෝද විය. දැන් රාතී‍්‍ර අඳුර ළගාවෙමින් තිබුන හෙයින් යාපන නගරයේම දෙමළ සොහොයුරෙකුගේ නිවස අපේ නවාතැන බවට පත් කර ගතිමු. ඇත්තෙන්ම එම නිවස අතිශයින්ම පිරිසිඳු, නිසි පිළිවෙලක් හා සියළු පහසුකම් සහිත ස්ථානයකි. 

පසුදා අපි මුලතිව් හරහා තී‍්‍රකුණාමලය දක්වා පැමිණිමේ බලාපොරොත්තුවෙන් චාරිකාව උදෑසනින්ම ඇරඹීමු. අපි මුළින්ම අවධානය යොමු කළේ අලිමංකඩ රණවිරු ස්මාරකය වෙතයි.  

මෙම ස්ථානයේ දි ස්මාරකය නරඹන්නට පැමිණෙන පිරිස් වලට මෙම ස්මාරකය පිළිබඳව සිත් ගන්නා සුළු පැහැදිලි කිරිමක් එහි සිටින යුද හමුදා සෙබලකු විසින් සිදු කරනු ලබයි. එහෙත් එම ඉතා අගනා කථාවේ අවසන් කොටසේ දි යුද හමුදා සෙබලෙකුට තරම් නොවන ප‍්‍රකාශයක් ද ඔහු විසින් සිදු කරනු ලබයි. 

ඇත්තෙන්ම එල් ටී ටී ත‍්‍රස්තවාදයෙන් මේ රටේ ජනතාව මුදවාගත් ශී‍්‍ර ලංකා හමුදාව පිළිබඳව මේ රටේ ජනතාවට ඇත්තේ අසීමිත ගෞරවයකි. ඔවුන්ගේ එ් අසමාන කැපවිම කිසිදු අයුරකින් අවතක්සේරු කිරිමක් සිදු කිරිමට අපි අදහස් නොකරමු. එහෙත් අලිමංකඩ රණ විරු ස්මාරකය අසළට පැමිණෙන ජනතාවගේ සිත් සතන් තුල ජාතිවාදයේ ගිනි ඇවිලවිම නම් අනුමත කළ නොහේ. දෙමළ ජනයා කෙරෙහි වෛරයක් ඇති කරවිම කෙසේවත් අනුමත කළ නොහැකිය. අප චාරිකා කණ්ඩායමේ අප සමග දෙමළ සහෝදරියක්ද සිටි අතර එම සෙබලාගේ ප‍්‍රකාශ හමුවේ ඇය කෙතරම් අසිරුතාවයකට පත් වි දැයි අපි දුටුවෙමු. ඇය රවිරුවන්ට ගරු කල එල් ටි ටී ය ප‍්‍රතික්ෂේප කළ සොයුරියකි. එහෙත් ඇය එදා පුදුමාකාර අපහසුතාවයක පත් විය. ඇත්තෙන්ම අපි ත‍්‍රස්තවාදයට විරුද්ධ වෙමු. එහෙත් කිසිදා දෙමළ සහෝදර ජනතාවට විරුද්ධ නොවෙමු. පුදුමාතලන් වලදි බලහත්කාරයෙන් මිනිස් පලිහක් ලෙස රඳවාගෙන සිටි ජනතාව එල් ටි ටී ය ප‍්‍රතික්ෂේප කරමින් දිවි පරදුවට තබා ශී‍්‍ර ලංකා හමුදාව වෙතට පැමිනි අයුරු අපි අමතක නොකළ යුතුය. බිඳී ගිය හදවත් සුවපත් කර ජාතින් අතර සුහදතාවය වඩනු පිනිස කටයුතු කිරිම අපේ හමුදා සොයුරන්ගේ වගකිමවේ. හමුදා සෙබලාට ජාතියක් ආගමක් නැත. ඔහුට දෙමලාත් සිංහලයාත් මුසල්මානුවාත් එක සමානය.

හසලක ගාමිණි විරුවාගේ ස්මාරකයට ගරු කළ අපි පරන්තන් හංදියෙන් මුලතිව් මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදු නෙමු. 

 මුහුදු කොටි නායක සුසෙයි විසින් මුහුදු සටන් පිළිබඳව පුහුණුවිම් ලබා දුන් මහ කැලය මැද ඉදි කළ පිහිනුම් තටාකය නැරඹිමට අපේ පිරිසට හැකි විය. 


එල් ටි ටී සන්නද්ධ අංශය හා පැවති අවසන් මහා සටන සිදුවූ ප‍්‍රදේශය හරහා අපි ගමන් කළෙමු. පුදුමාතලන් පස් බැම්ම ද පසුකරමින් මිනිස් පලිහක් ලෙස ජනතාව යොදා ගනිමින් එල් ටි ටී සංවිධානය අවසන් මහා සටන දියත් කල ප‍්‍රදේශය හරහා අපි ගමන් කරමින් සිටියෙමු. බොහෝ නිවාසවල දක්නට ඇත්තේ වෙඩි වරුසාවන්ට මැදිව සිදුරු වු නිවාසයන්ය. හරියට මී වදයක් මෙනි. එ් අතර නව නිවාස ඉදිවෙමින් ජන ජිවිතය සාමාන්‍ය තත්වයට එමින් පවතී. අපි මේ පැමිණියේ තවත් සුවිශේෂ බිමකටය.


ජෝර්දානයට අයත් පාරා නෞකාව පිහිටි ස්ථානයයි මේ. 2006 දෙසැම්බර් 29 වන දින යාන්ති‍්‍රක දෝෂයකට ලක් වූ මෙම නෞකාව එල් ටී ටී ය විසින් අත් අඩංගුවට ගෙන මෙම ස්ථානයට රැුගෙන විත් ශී‍්‍ර ලංකා නාවික හමුදාවට එරෙහි හමුදා පුහුණුවීම් ආදියට යොදා ගත් මෙම නෞකාව පිහිටි භූමිය 2009 මැයි 11 වන දින වන්නි හමුදා මෙහෙයුමේ යෙදි සිටි හමුදාවන් උතුරු දෙසින් හා දකුණු දෙසින් පැමිණ හමු වූ ස්ථානයයි. තවද යුද්ධය අවසන් වූ බව සංකේතාත්මකව ප‍්‍රකාශ කරමින් යුධ බිමේ භාවිතා කල අවි වල සියලූ උණ්ඩ මුහුදට මුදා හැර අවි ශූණ්‍යකරණය කර,  මින් පසු යුද්ධයක් නොමැති බව ප‍්‍රකාශ කළ ස්ථානය ද මෙයයි.


දැන් මෙම නෞකාවේ යකඩ කඩා ඉවත් කෙරෙමින් පවතී. මේ එසේ කඩා ඉවත් කෙරෙමින් පවතින නෞකාවේ වත්මන් තත්වයයි.

අපි තිරියායට පැමිනෙන විට සැදෑ අඳුරද ගලමින් පැවතුණි. එබැවින් අපේ ගමනේ 3 වන දිනය එනම් 2013 දෙසැම්බර් 23 වන දින රාතී‍්‍ර නවාතැන සඳහා තිරියාය විශ‍්‍රාමශාලාව තෝරා ගතිමු. 

තිරියාය යනු තපස්සු භල්ලූක වෙළඳ දෙබෑයන් විසින් තමන්ට බුදුරදුන්ගෙන් ලැබුණු කේශධාතු නිධන් කර ගොඩ නගන ලද ගිරිහඩුසෑය පිහිටි ස්ථානයයි.


ගිරිහඩුසෑය



නටබුන් අතර ඇවිද යමින් අපේ අතිත උරුමයන් විමසන අපේ චාරිකා කණ්ඩායම 

ගල් පඩි බසිමින් සිත් සතොසින් යන බැතිමතුන් 

24 වන දා අපේ චාරිකාවේ 5 වන දින අපි මුලින්ම ගියේ නිලාවේලී වෙරළ තීරයට. මුහුද චණ්ඩයි. ඈතින් මුහුද මැද පරෙවි දුපත පේනව. එය දැන් අභය භූමියක්. 

නිලාවේලියෙන් අපි ආවෙ වෙල්ගම රජ මහා විහාරයට.

වෙල්ගම රජ මහා විහාරය කවුරුන් විසින් ඉදි කළේ ද යන්න නොදන්නා මුත් එය අනුරාධපුර යුගයේ මුල් වකවානුවට අයත් බෞද්ධ සිද්ධස්ථානයක්. සිංහල පමණක් නොව දෙමළ බෞද්ධයන්ගේ ද වන්දනාවට පාත‍්‍ර වූ ස්ථානයක්.


වෙල්ගම් මහා විහාරයේ ප‍්‍රතිමා ගෘහයේ ඇති ශෛලමය හිටි පිළිමය

මෙහි ප‍්‍රතිමා ගෘහය, ස්ථුපය, බෝධිඝරය හා පොහොය ගෙය දැකිය හැකිය.

 වෙල්ගම් වෙහෙර නරඹා අපි ඉන්පසුව පිය මැන්නේ කන්නියා හි පිහිටි උණුදිය ළිං නැරඹිමටය.


තී‍්‍රකුණාමලය නගරය හරහා අපි ඊලගට පිය මැන්නේ ප්‍රෙදි‍්‍රක් බලකොටුව හා එ්ය තුළ පිහිටි පැරණි ගෝකන්න විහාරය තිබූ ස්ථානයේ පිහිටි කෝනේශ්වරම් කෝවිල හා සොබාදහමේ සුන්දර දසුන් නැරඹිමටය.



දැන් දැන් දහවල හිරු රැුස් චණ්ඩවෙමින් පවතියි. ගත දවා ලන දාහය නැග එයි. මේ පියවර මැන්නේ නාවික හමුදාව මගින් නඩත්තු කොට පවත්වාගෙන යන මාබල් බීච් කරාය. සිත්සේ විනෝද වෙමින් මුහුදු රළ හා ඔට්ටු වෙමින් මුහුදු දිය නෑමටය. මෙම ස්ථානය ඉතා පිරිසිඳුවටත් ආරක්ෂාකාරි ලෙසත් පවත්වා ගෙන යාමට නාවික හමුදාව වග බලාගෙන ඇත. වැඩිහිටියකුගෙන් රු.20 ක් අයකරනු ලබයි.

තී‍්‍රකුණාමලයේ කොඞ්ඩියාර් බොක්ක ඉතා පැහැදිලිව නරඹමින් මහවැලි ගංගාව හරහා අපි මේ ගමන් කරන්නේ සේරුවාවිල පුදබිම කරාය.


සොළොස්මස්ථානයන් ගෙන් එක් පූජනීය ස්ථානයක් වුන සේරුවිල මංගල රජමහා විහාරය ඓතිහාසික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් ද වටිනාකම් රැුසකට හිමිකම් කියන ස්ථානයකි. ක‍්‍රි.පූ. 2 වන සියවසේ දී කාවන්තිස්ස රජු විසින් මෙම විහාරය කරවූ බව මහා වංශය කියයි.  ගෞතම බුදුරදුන්ගේ ලලාට ධාතුව නිධන්කර මංගල මහා සෑය කරවා ඇත.
ආචාර්ය එල්.ඞී. බ්‍රෝහියර් ගේ වාර්තාවන්ට අනුව මෙම ප‍්‍රදේශය මහවැලි ගංගාවේ පිටාර තැන්නක් බැවින් විශාල ප‍්‍රමාණයක් විල්ලූ හා වගුරු බිම් පවතී ඇති අතර එ්වායේ විශාල වශයෙන් සේරු රංචු සිට ඇත. සේරුන් වැඩි වශයෙන් ගැවසුන ප‍්‍රදේශය සේරු නුවර වන්නට ඇත.
කකුසඳ, කෝණාගම හා කාශ්‍යප යන තුන් බුදුුවරයන් වහන්සේලාගේ පාදශ්පර්ශයෙන් මෙම පුද බිම පිවිතුරු වි ඇතැයි විශ්වාසයක් පවතී. ගෞතම බුදුරදුන් මෙම ස්ථානයට වැඩ එම බුදුවරුන්ට සපුමල්වලින් පූජාවක් කල බවද ජනප‍්‍රවාදයේ පැවත එයි. එබැවින් සිව් බුදුවරුන්ගේම පාදශ්පර්ශයෙන් නිර්මලවූ පිං බිමක් ලෙස මෙම මංගල විහාරය හැඳින්විය හැකිය.
පරසතුරු පිඩාවන්ගෙන් අභාවයට ගිය මෙම පුදබිම 1922 දී දඹගස්ආරේ සුමේධංකර හිමියන් විසින්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහායෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹූ අතර 1931 වන විට සෑයේ ප‍්‍රතිසංස්කරන කටයුතු අවසන් කරන ලදී. මේ වන විට අක්කර 85 ක පමණ ප‍්‍රදේශයක් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇත.
2006 දී මෙම පුදබිම යුනෙස්කෝව යටතේ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා වි ඇත.

සේරුවාවිල වැඳ පුදාගෙන සැදෑ කළුවරත් සමගම අපි අපේ නවාතැන්පොල ලෙස තෝරාගත් පාෂාණ පබ්බත විහාරය කරා ගමන් කළෙමු. 

පාෂාණ පබ්බතය අනාථ පබ්බතයක් කරන ගනින්නාන්සේ .......

මෙවන් සටහනක් මෙහි තබන්නට අපි බොහේ දුර කල්පනා කළෙමු. එවැන්නක් නොකළ යුතු යැයිද සිතුනු වාර අනන්තය. එහෙත් අනාගතය සඳහා විශේෂයෙන් බොදු උරුමයන් හා බොදු පිළිවෙත් පිරි සමාජයක් උදෙසා මෙය සටහන් කළ යුතුයැයි අපි සිතුවෙමු.
එදා 2013 දෙසැම්බර් 24 වන දා අපේ චාරිකාවේ සිව්වන රාතී‍්‍රයයි. තලගල මංගලාරාමාධිපති, ශී‍්‍ර සිද්ධාර්ථ පදනමේ විධායක අධ්‍යක්ෂ සල්පිටි රයිගම් දෙකෝරළත‍්‍රයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මා හිමිපාණන් වහන්සේ අපේ ගමේ පංසලේ නියක හාමුදුරුවන් වහන්සේය. තලගල සුමනරතන නායක හාමුදුරුවෝ යනු අපේ ගමට පමණක් නොව මුළු සිරිලකටත් එතැනින් එහා මුළු ලොවටමත් අරුතින් දහමින් අනුශාෂනාකරන පැවිදි යතිවරයන් වහන්සේ නමකි. සිය ජීවිතයම සසුන වෙනුවෙන් කැප කළ උන්වහන්සේ ගමෙන් ලංසලට පමණක් නොව පංසලෙන් ගමට යන සංකල්පය යථාර්තයක් කළ හිමි නමකි. ශී‍්‍ර සිද්ධාර්ථ පදනම බිහිවන්නේ එ් අරමුණ සාධනය කරනු පිනිසය. උන්වහන්සේගේ අති මහත් සමාජ හා ශාසනික මෙහෙවර මෙහි ලියන්නට නොහැකිය. මෙහි සටහන් කරන්නේ මෙම කථාවට අවැසි බිඳක් පමණකි. යුද්ධය ඇවිළි ගම් දනව් වනසන යුගයක උන්වහන්සේ යුධ හමුදාවේ කර්නල් අනිල් අමරසේකර වැනි විරුවන් සමග එක් වෙමින් යුද්ධයෙන් බැට කන ගම්මානකරා වැඩියේ වෙඩි වරුෂාවන් මැද දිවි පරදුවට තබමිනි. එම ගම්මානවලට වැඩ එ්වායේ අති දුෂ්කර ලෙස දිවි ගෙවන ජනතාව මානසික වශයෙන් මෙන් භෞතික වශයෙන් ද ශක්තිමත් කරමින් ආහාර පාන මෙන්ම ගමේ පාසල් පංසල් හා පොදු ස්ථාන නගා සිටුවමින් මහා මෙහෙවරක් සිදු කරන ලදී. ගමේ ජනතාව දායක කර ගනිමින් අවුරුදු සමයට කැවුම් කොකිස් දස දහස් ගනනින් අයා පිහා හමුදා විරුවන් වෙත නෑගම් වඩින ලදී. එම ගමනේම තවත් එක් සුවිශේෂි මෙහෙවරක් වූයේ ගිරිභණ්ඩ පූජාවයි. යුද්ධයෙන් බැට කමින් අති දුෂ්කර දිවියක් ගෙවන ලද උතුරු - නැගෙනහිර පළාත්වල මහා සංඝයා වෙත පිදෙන අපහාරයක් ලෙස විහාරස්ථානයකට අවශ්‍ය භෞතික සම්පත් පබා දිමේ මහා පිංකමක් උන්වහන්සේ විසින් අරඹන ලදී. එය තවමත් එලෙසම පැවැත්වෙයි.

 තී‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ එවැනි විහාරස්ථාන සිය ගණනකට ගිරිභණ්ඩ පූජාව හරහා ද්‍රව්‍ය ලබා දුනි. එතෙකින් නොනැවතුණු උන්වහන්සේ එම දුෂ්කර විහාරස්ථානවලට අවශ්‍ය අවාස ගෙවල් ධර්මශාලා වැසිකිළි කැසිකිලි ආදිය තැනීමටද කි‍්‍රයාකරන ලදී. තවද තෝරාගත් විහාරස්ථාන ගණනාවක කඨිණ පිංකම් පැවැත්විම සිදුකරන ලදී.

 2013 වර්ෂයේ එලෙස කඨින පංකමක් පැවැත්වූ විහාරස්ථානයක් වූයේ පාෂාණ පබ්බත විහාරයයි. කොටිහඩ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කුළුන හා සම්පේ්‍්‍රෂණාගාරය පිහිටියේ මෙම විහාරස්ථානයේමය. යුද්ධය නිමාවිමත් සමගම 2005 දී එම ස්ථානයට වැඩි හිමි නමක් සම්පේ‍්‍රෂණාගාරය පවත්වාගෙන ගිය කන්ටේනර් පෙට්ටියට වි දුෂ්කරතා විඳිමින් එම විහාරස්ථානය ගොඩනැංවීමට කි‍්‍රයාකළ ආකාරය අපේ නායක හිමියන් ගමේ දායකයින්ට කියා දුන් හැටි අපට මතකය.අපි එම සියළු මතකයන් සමග පාෂාණ පබ්බතයට ගියේ නෑගමනක් යන හැගීමකිනි. 

අපේ චාරිකාවේ මතක සටහනක් ලෙසත් අපේ නායක හිමියන්ගේ ශාසනික සාමාජිය මෙහෙවරට දායක විමක් ලෙසත් අපේ චාරිකා නඩයේ පිරිසගේ ධන පරිත්‍යාගයෙන් මෙම විහාරයට යම් දායකත්වයක් ලබා දිමට අදිටන් කරගෙන එම විහාරයට අපි ගොඩ වැදුනෙමු. 

අපත් සමග කිතුලවිල තිස්ස වන වහාරාධිපති හිමිපාණන් ද වැඩම කරන ලදී.මෙම කථාවේ ඊලග පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ මෙතැන් සිටය. 

මෙතෙක් දින 3 ක් නවාතැන් පිළිබඳ අපට ගැටළුවක් ඇති වූයේ නැත. දැන්  ගැටළුවක් පැන නැගී ඇත. මේ එම විහාර්ථානයේ විහාරාධිපති හිමියන්ගේ වචනයි. ” මහත්තයො ඔය ශාලාව රු 3500 යි. දැන් හාමුදුරුවන්ට නවතින්න තැනැක් නැහැනෙ උඩහ තව ශාලාවක් තියෙනව. එ්ක කණ්ඩායමක් ඉල්ලල පොරොන්දු වෙලා ගියෙ. එ් ගොල්ලො ලංකා පටුනට ගිහින් තව ටිකෙන් එයි. මං එ් ගොල්ලන්ට බොරුවක් කියන්නං. එ්කට රු. 3500 ක් ගෙවන්න. දැන්ම මට වචනයක් කියන්න එ් නඬේට වචනයක් දෙන්න  ඕනි. ” දැන් අපි රුපියල් 7000 ක් ගෙවිය යුතුය. සියළු පහසුකම් සහිතව යාපන නගරයේ නිවාසයක් රු.5000 කට අපට ලැබුනේ ආචාරශිලි බව සුහදතාවය සමග දෙමළ සෙහොයුරෙකු ගෙනි. දැන් මේ අප පැමිණ ඇත්තේ අපේ ගමේ දායකයින් විසින් ගිරිභණ්ඩ පූජාවෙන් ආධාර කළ හා මෙම වසරේම කඨින පංකම පැවැත්වූ විහාරයටය. අනෙක් අතට නිතර නිතර එහි ශබ්ද්ධ විකාශනයෙන් ප‍්‍රචාරය කරන  මහරගම   විද්‍යාකර විදුහලේ විදුහල්පතිනිය මගේ ( කරුණාදාස මුණගම) ඥති සොයුරියකි. අපේ ප‍්‍රදේශවල ආධාරයෙන් ගොඩ නැගුණු මෙම විහාරයේ තම ආවාසයේ අපේ ස්වාමීන් වහන්සේට නවාතැන් දෙන්නට නොහැකි බව පවසයි. බොදු සසුනේ සම්ප‍්‍රදාය කුමක්ද? ” අගත අනගත චතුදිස සගස දිනෙ / අවා වූද නොආවා වූද මහා සංඝයාට මෙම විහාරය පිදේ” එයයි බොදු සම්ප‍්‍රදාය. එහෙත් අපේ හිමියන්ට නවාතැන් දීමට එම හිමියන් ප‍්‍රතික්ෂේප කරයි. මේ අප ඉදිරියේ  සිටින්නේ සිවුරු පොරවාගත් බිස්නස්කාරයෙකි. කිසිදු පහසකමක් නොමැතිව අපි රු.7000 ක් ගෙවිය යුතුය. ඇත්තෙන්ම අපි එම ස්ථානයට ගියේ එහි ඇති යම් අඩු පාඩුවක් බලා එය සම්පූර්ණ කර දිමේ ආශාවද ඇතිවය. එහෙත් මේ මුදල් ගණුදෙණුව අපි තුළ ඇති කලේ මහා පිළිකුලකි. ජුගුප්සාවකි. අපි එසැනින් අපේ නායක හාමුදුරුවන් ද ඇමතිමු. උන්වහන්සේ එම ගනින්නාන්සේ සමග සාකච්ඡුා කර පැවසූයේ දේට තියෙන ගානක් දිල එන්න කියාය. එහෙත් පසුදා දයේ අපෙන් බලෙන් මෙන් රු 6000 ක් ඩැහැගැනීමට ඔහු මැලි නොවීය. නහයක් ඇති අයෙකුට කෙසේවත් යා නොහැකි අතියින්ම අපිරිසිඳු වැසිකිලි පිහිටා ඇත්තේ විශ‍්‍රාමශාලවේ සිට කිලෝමිටර් කාලක් පමණ දුරකිනි. අපි මෙම ස්ථානයට ආවේ පහසුකම් බලාපොරොත්තුව නොවේ. ඇත්තෙන්ම අපව සුහද ලෙස පිළිගෙන අපටත් අපේ ස්වාමින් වහන්සේටත් නවාතැන් ලබා දී අපව මිනිසුන් ලෙස  පිළිගත්තේ නම් අපි මෙම ස්ථානයට අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් ලබා දිමට මැලි නොවන්නෙමු. තවද රුපියල් 6000 නොව ඊට වඩා වැඩි මුදලක් එ් මොහොතේ අපි පරිත්‍යාග කරන්නෙමු.  අපේ නායක හාමුදුරුවන්ගේ බහද ඔහු මායිම්කර තිබුනේ නැත. යුද්ධය අවසන් වූ පසු මෙහි පැමිණ මෙම ස්ථානය තමාගේ අනාගත ව්‍යාපාරය සඳහා තෝරාගත් මෙම හොර ෙදාස්තර සිවුරු පොරවාගෙන මෙහි පැමිණ ඇත්තේ බුදු දහම නගා සිටුවීමට නොවන බව අපට පැහැදිලිය. ඇත්තෙන්ම බියකරු යුද්ධයේ දි තම ජනතාව තනි නොකරමින් මරණය සමග පොර බදිමින් මහා දුෂ්කර දිවියක් ගත කළ ස්වාමීන් වහන්සේලාට අපේ ගෞරවය නැවතත් පුද කරමින් එවන් හිමිනමකට මෙම විහාරස්ථානය පැවරිය නොහැකිද යන පැනය නගමින් බුධ ශාසන අමාත්‍යංශය හා මහා නායක හිමිවරු මෙලෙස සිවුරු පොරවාගත් අයට හිතු හිතූ ලෙස විහාරස්ථානවල අයිතිය පවත්වාගෙන යාමට ඉඩදීම පිළිබඳවඅවධානය යොමු කරන  මෙන් ඉල්ලමින් පාෂාණ පබ්බතය අනාථ කරන ගනින්නාන්සේගේ කථා වස්තුව අවසන් කරන්නෙමු.


පාෂාණ පබ්බත ගිරි මුදුනේ පිහිටා ඇති කොටිහඩ ගුවන් විදුලි විකාශන කුළුන



දෙසැම්බර් 25 වන දා අපේ චාරිකාවේ  5 වන දිනයේ උදෑසනම අපිපිටත් උනේ හේමමාලා දන්ත කුමරිය විසින් දළදාව රැුගෙන ලංකාවට පැමිණි ලංකා පට්ඨන වරාය හෙවත් ලංකා පටුන දැක ගැනීමේ අරමුණ ඇතිවයි. මේ සඳහා කෙටි දුරක් බෝට්ටුවකින් යායතුයි.  එක් අයෙකුගෙන් රු. 20 ක මුදලක් අයකරනු ලැබේ. මෙම බෝට්ටු සේවය ප‍්‍රදේශයේ ජනතාව විසින් පවත්වා ගෙන යනු ලැබේ.

පසුව සෝමාවතී වනෝද්‍යානය තුළ පිහිටි බුදුරදුන්ගේ දකුණු දළදාව නිධන් කර ගොඩනගන ලද සෝමාවති ස්ථුපය වැඳපුදා ගැනිමට පැමිණියෙමි. 

අධික ලෙස ජනතාව පැමිනිම නිසාත් අවිධිමත් කළමනාකරණය නිසාත් මුළු පුද බිම පුරා කුණු කසළ නැහැවි තිබුනි. පැමිනෙන සැදැහැවතුන් ගෙන ආ පොලිතින් වලින් භූමිය පිරී ගොසිනි. වල් අලින් යාචකයින් සේ ජනතාවගෙන් ආහාර හිගා කති.සියල්ල වෙනස් වන්නේ ක‍්‍රමිකව නොවේ. ජනතාව තවමත් බොහෝ පසු පසිනි. එහෙත් සංවර්ධනය මතු පිටින් සිදුවේ. ඉන් අපේක්ෂිත ප‍්‍රතිථල නොලැබේ.කෙසේ වෙතත් සෝමාවතියෙන් මින්නේරි වැව් දියට පැමින සිත්සේ පිහිනා නා අපි 26 වන දින අළුයම 1.30 පමණ වන විට නැවතත් ගම් ෙදාරවල් කරා පැමිණියෙමු. 





No comments:

Post a Comment