Friday, April 19, 2013

4 වන දප්පුල රජු හමුවී සීගිරි කාශ්‍යපයන්ගේ අප්සරාවන් සොයා ගිය ‘‘උරුමය සොයා’’ පාරිසරික චාරිකාවේ පසු සටහන

4 වන දප්පුල රජු හමුවී සීගිරි කාශ්‍යපයන්ගේ අප්සරාවන් සොයා ගිය ‘‘උරුමය සොයා’’ පාරිසරික චාරිකාවේ පසු සටහන                                       

අපේ බ්ලොග් අඩවියට පිවිසෙන අපේ සියළු හිතවතුන්ගෙන් සමාව ගන්න  ඕනි මුලින්ම. මේ තරම් කලක් පරක්කු උනාට චාරිකවේ පසු සටහන ලියන්න. ඇත්තටම පහුගිය දින ගෙවිල ගියෙ හරිම අවිවේකයෙන්. වැඩ ගොඩයි. ඒව තරමක් ලොකු වැඩ. 26 වෙනිද චාරිකාව ගිහින් ආපු ගමන් අපි සූදානම් උනේ ‘‘ගිනියම් මිහිමඩලට සිසිල් දිය පොදක්’’ පාරිසරික ප‍්‍රසංගයට.  ඒ ප‍්‍රසංගය පැවැත් වුනේ අපේ‍්‍රල් 06 වෙනිදා. ඊට පහුවෙනිදා ‘‘ ආනන්දයෙන් පඥාවට’’ සංගීත චාරිකාව. ඒ හැම එකක්ම දැන් අවසන්.  ඒවයෙ විස්තර ඔබට ගෙන එන්නත්  ඕනි. ඒ අතරෙ සිංහල  දෙමල අළුත් අවුරුද්දත් ආවා. කෙහොම හරි දැන් අපි ලියන්න පටන් ගන්නව. මේ සටහන් කියවල ඒ ගැන ඔබට දැනෙන දේ අපිට ලියා එවන්න අමතක කරන්නත් එපා.    

                   මාර්තු 26 වෙනිදා අපේ චාරිකාව අරඹන්න සූදානම් කරගෙන තිබුනෙ පාන්දර 4.00 ට . මේ චාරිකාවටත් ආපු බාධක නම් එමටයි. කී සැරයක් දින වෙනස් කරන්න උනාද? යන්න හිටපු දවස් වල ඒ පළාතට මදි නොකියන්න වැස්ස. මෙදා පාරනම් වැහිපිට වැහි දාක් වැස්සත් යනව කියල හිතාගෙන තමයි ගමනට සූදානම් උනේ. ඒත් මෙන්න චාරිකාවට දින දෙක තුනක් තියෙද්දි හවසට හවසට පටන් ගත්තෙ නැතෑ වැස්ස. ඒ විතරක්ද අපේ දරුවන්ට වාර විභාගය. විභාගෙ දාල එන්න බෑ කියල සමහරු කියන්න පටන් ගත්ත. ඒ මොනව උනත් මෙදා පාර චාරිකා දිනය වෙනස්  නොකරන්න සංවිධායක මංඩලය තදබල තීන්දුවක් අරං උන්නෙ.  පහුගිය ගිම්හාන  කඳවුරට දුම්බර කඳුවැටි තරණය කරගෙන බස් එකට සෑහෙන්න ඩැමේජ් කර ගත්තු පි‍්‍රයන්ත මහත්තය එයාගෙ බස් එක අරගෙන ආව. මුලින්ම අපි එයාට කිව්ව ‘‘මෙදා පාරත් පාඩුවට තමයි යන්න වෙන්නෙ යන්න හිටපු ගොඩක් අය යන්න බැහැ’’ කියනව කියල. අපේ වැඩ වලදි කට්ට කන්න වෙන බව දැන ගෙන පාඩු ලාභ නොබල මේ වැඬේට එන්න ඔහු කැමති උනේ ‘‘ මම දන්නව සර්ල හොඳ වැඩක් කරන බව ඒක හින්ද කමක් නෑ  ඕන දෙයක් . අපි යමු ’’ ඔහු කැමැත්තෙන්ම අපිත් එක්ක එකතු උනා.



මේ තමයි අපේ මාතලී ප‍්‍රියන්ත මහතා

26 වෙනිදා පාන්දර 4.45 ට විතර උනා චාරිකාව අරඹන් කොට. අපේ ගමන් වලදි කොහොමත් කට්ටිය නැති වෙන්නෙ නැහැ. කොහෙන් හරි අපේ කට්ටිය ගානට සෙට් වෙනව. මෙදා පාර කණ්ඩායමට අපේ ළමා සමාජය , තරුණ සංවිධානය සහ සජන මිතුරෝ වගේම අමුත්තන් කිහිප දෙනෙකුත් එකතු උනා. ඔක්කොම කට්ටිය 67 ක්. අපි හෝමාගම. හංවැල්ල, කිරිඳිවැල, පස්යාල හරහා දඹුල්ලට ඇවිත් එතැනින් අනුරාධපුර මාර්ගයේ මඩාටුගම හංදියට ආව. 

එතැනින් වමට තියෙන පාරෙ කිලෝමීටර් 10 ක් විතර ගියහම අපි ගල්කිරියාගම, රණව උල්පත්ගම ග‍්‍රාමයේ පිහිටි නාමල් උයන කරා පැමිණුනා. ඒ එන අතර මගදි අපේ අයට දැකගන්නට ලැබුන 4 වන දප්පුල රජු කාලයේ පිහිටවපු ටැම් ලිපියක්. මේ ප‍්‍රදේශය එකල මිනිස් අභය භූමියක්. ලෝකයේම මිනිස් අභය භූමියක් ගැන කියවෙන ඓතිහාසික සාක්ෂියක් හමුවන එකම ස්ථානය. ඒ හින්ද ඒ ටැම් ලිපිය කොයිතරම් වටිනවද? ඒත් එය ආරක්ෂා කරගන්න ඒ තරම් උනන්දුවක් තියෙන බවක් නම් පෙනුනෙ නෑ. 

මේ තමයි ඒ ටැම් ලිපිය



දැන් අපි ආසියාවේ විශාලතම නා  වනය ඉදිරියට ඇවිත්. එදාට වඩා ගොඩක් වෙනස් කම් සිදු වෙලා. එදා කිව්වෙ මෙහි ආරම්භක වකවානුව. අපි මුලින්ම මෙහාට ආවෙ 1991 දි. ඒ කියන්නෙ වනවාසී රාහුල හාමුදුරුවො නාමල් උයන ජාතියට හඳුන්වල දීපු මුල්ම වකවානුව. අද කොන්කී‍්‍රට් ගල් අතුරා මාර්ගය පිලිසකර කරල. 




වනවාසි රාහුල හිමියන් එදා කරපු ඒ අපරිමිත කැප කිරීම අපි අගය කළ යුතුයි. උන්වහන්සේ නොසිටින්න මේ ජාතික උරුමය විනාශවන්නට තිබුන මහා බාධක හමුවේ එය රැුක ගැනීම අති විශාල පිං කමක්.

 ‘‘ සර් හාමුරුවන්ව අඳුරනවද? ’‘  උදයංග ගෙන් ප‍්‍රශ්නයක්. 

‘‘ ඔව්  අපි ඒ දවස් වල යාළුවො. මෙහාට අපි නිතරම ආවා ගියා. ඒත් දැන් ගොඩක් කල්. අපිත් වයසට ගිහින් හාමුදුරුන්ට මතක නැතුව ඇති. මතක් කරල දෙන්න ගොඩක් දේවල් කතාකරන්න වෙයි ’’ මම උත්තර දුන්න.

වනවාසී රාහුල හිමියන් වැඩ වසන කුටිය ඈතින් පෙනෙනව. අපි උන්වහන්සේ හමුවන බලාපොරොත්තුවෙන් ඒ දෙසට හැරුණා. 

‘‘ ආ මහත්තයො ගොඩක් කාගෙකට පස්සෙ .....’’ රාහුල හිමියන් ගේ හඩ අවදි වුනා.   උන්වහන්සේට අපිව අමතකව ගොස් නැහැ.

‘‘ ඇත්තමයි හාමුදුරුවනේ මම හිතුවෙ මාව අඳුරගන්න එකක් නැතිවෙයි කියල. මගෙ නම නම් මතක නැතුව ඇති මම මුණගම’’

‘‘ ඇයි මට මතක නැත්තෙ මට මහත්තයව වගේම මහත්තයගෙ නමත් මතකයි. රාහුල හිමියන් පිළිතුරු දෙන්නේ මා ලජිජාවට පත් කරමිනි. 


දිගු  කළකට පසු හමුවී පැරණි මිතුදම සිහිවී ......... 

උන්වහන්සේ අපේ කණ්ඩායම නාමල් උයන හා රෝස තිරුවාණා නිධිය  පිළිබඳව මෙන්ම පරිසරය හා සොබාදහම සමග ජීවත්වීමේ වටිනාකම පිළිබඳව අපේ සාමාජිකයින් දැනුවත් කළා. 


වනවාසී රාහුල හිමියන් අපේ සාමාජිකයින් දැනුවත් කරමින් .....

අපේ කට්ටිය උන්වහන්සේ සමග සමූහ ඡුායා  රූපයකට ද පෙනී සිටියා.


නාමල් උයනේ ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ සමයේ සිට 8 වන සියවසේ 4 වන දප්පුල රාජසමය දක්වා දිවයයි. මෙම නා වන ස්වභාවිකව ඇතිවූ නා වනයක් නොව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඇති කරන ලද නා  වනයක් බවට තර්කාණුකූලව ඉතිහාසය හැදෑරීමේ දී පෙනීයයි.  නා වනය අක්කර 260 ක් පුරා විසිරී ඇති අතර මුළු වනාන්තරය අක්කර 2000 කටත් වඩා වැඩි වපරියකට හිමිකම් කියයි. මෙම බිමෙහි පැරණි විහාරාරාමයක් ද වූ බවට මෙහි ඉතිරිවී ඇති නෂ්ඨාවශේෂ සාක්ෂි දරයි. රෝස තිරුවානා නිධිය වසර මිලියන 550 කට එපිට ප‍්‍රාග් කේමිබ‍්‍රිය යුගයේ නිර්මාණය වූවක් ලෙස සැළකේ. අර්ධ මැණික් විශේෂයක් ලෙස සැළකෙන මෙම වටිනා නිධිය ඇතුළත් කඳු වැටියෙහි කඳ මුදුන් 7 ක් දැකිය හැකිය. 


එ දවස ටජ්මහල නිමවීම සඳා මෙම රෝස තිරුවානා ගෙන ගිය බවටද මතයක් ඇත. දුර්වර්ණ වෙමින් පැවතිය ද කැඞී බිඳි ගිය තැනෙක දම් පැහැයට හුරු රෝස පැහැය දිස්වෙයි.

චන්ඩ හිරු රැුස් අපේ ගත සිත දාහයෙන් දවාලයි. මේ හිරු මුදුන් වෙමින් පැවති වේලාවයි. කඳු පාමුල තම සිඟිති බිළිඳා ද රැුගෙන අනෙකුත් දරුවන්ගේ ද සහායෙන් සිය දිවි සරි කරගන්නට වෙහෙසෙන මාතාවක් කුඩා වෙලද‘ සැලක් පවත්වා ගෙන යයි. බෙලි මල්, සිසිල් දොඩම්, ආදිය ඈ එහි අලෙවි කරයි. අපි සිසිල් දොඩම් පානය කළෙමු. බෙලිමල් ද බීවෙමු. 




දහවල් 1 .00 ට පමණ  අපි නාමල් උයනෙන් සමුගත්තේ කාශ්‍යපයන් ගේ ආලකමන්දාවට ගොස් ඒ අතීතය සිරි විසිතුරු සිත් සේ විඳගැනීමේ රිසියෙනි. 



සීගිරිය  5 වන සියවසේ සිරිලක උද්‍යාන නිර්මාණයේ කැඩපතකි. මෙය ලෝකයේ එවන් නිර්මාණ අතර අද්විතීය නිමැවුමකි. ස්වභාවික පරිසරයේ ඇති සම්පත් නොකෙළසමින් ඒවා තම නිර්මාණය උදෙසා උපයෝගි කර ගෙන ඇති ආකාරය නූතන මිනිසාට ගැසූ අතුල් පහරකි. වෘක්ෂ උද්‍යානය, ජල උද්‍යානය හා ශිලා උද්‍යානය යන උද්‍යාන ති‍්‍රත්වයෙන් මෙම උද්‍යානය සමන්විතය. 

මෙහි ඇති ජල මල් වසර දෙදහසකටත් වඩා කල් ගියද අදටත් සකි‍්‍රයව පවතී


නයි පෙණ ගුහාව සොබාදහමේ සුන්දර නිමැවුමකි



නයි පෙණ ගුහාවේ ශේෂව පවතින සිතුවම් 



තවත් එවැනිම ශේෂව පවතින සිතුවම් සහිත ගුහාවක් 



ශිලා උද්‍යානය වර්ණවත් කරමින් මේ ස්වභාවික ගල් ආරුක්කුව මැදින් ඉහළට දිවෙන පිය ගැට පෙළ එදා කසුප් නිරිඳුන්ගේ දෙපා සිප ගන්නට ඇති



දුටු දුටු දනන් නෙත් සිත් වශිකරවන සුරූපී සීගිරි ලලනාවියන් තවමත් සිගිරි පර්වත ප‍්‍රාන්තයේ අප එන මග බලමින් නොසැලී සිටියි 




සීගිරි නැරඹු දනෝ සීගිරි සුරූපිනියන්ගේ දේහ විලාශයෙන් ද  මන්මත් කරවන ඔමරි බැල්මෙන් ද වශිකෘතව ගී දහස් ගණනක් ලියු කැඩපත් පවුර ප‍්‍රතාපවත් ලෙස නොසැලි බලා සිටියි

සීගිරි පර්වත මුදුනෙහි සිය වාසභවනය සාදා ප‍්‍රතාපවත් මහා රජකු ලෙස රාජ්‍ය විචාරා පීතෘ ඝාතකයකු වීමේ මනස්තාපය නිවා ගනිමින් දිවි ගෙවු කසුප් රජු අවසන සිය කගින් සිය ගෙල සිද ගෙන සතුරා අබිමුව වීරවරයෙක් ලෙස සිය දිවි ගමන නිමා කළ නමුත් වසර දෙදහසකට පසුව වුවද ලෝවැසි දනන් සීගිරියට පැමින ඒ අභිමානවත් මිනිසා ලොවට දායාද කළ මේ මහා කළා නිර්මාණය නරඹති. ඒ කිසිවෙක් කිසි විටෙකත් සීගිරි කාශ්‍යපයන්ට සිහිනෙනුදු වෛර නොකරති. ඒ කළාකාමී සුන්දර ප‍්‍රතාපවත් මිනිසා සදා කල් මානව හදවත් තුළ ජීවත්වනු ඇත. සිගිරිය පවතින තුරාවටම ඔහුද ජීවමානවම ජීවත්වනු  ඇත.


නිරිඳුනි මේ මහ සීගිරි කූටය ඔබේ උදාරවු උරමඩලයි ඔබේ නාමයට නැගූ විජය ටැඹ කලා භවන මේ පර්වතයයි

No comments:

Post a Comment