Monday, April 22, 2013

‘‘ආනන්දයෙන් පඥාවට සංගීත චාරිකාව ’’


කෝකිලයන් ඉමිහිරි ගීත ගයන තුරුලිය මලින් බරවන අස්වනු වලින් කෙත්වතු සරුවන භාග්‍යවන්ත මාසය එළඹිලා . මේ බක් මාසයයි.  බක්මහේ 07 වෙනිදා හැන්දෑවෙ මිහිතල මිතුරන්ගේ නවාතැනට ඒ කියන්නෙ කොඩිගහකන්ද අභය භුමියේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට සහෘදයන් රොද බඳින්න පටන් ගත්තෙ අතිශයින්ම දුර්ලභ සංගීතමය අත්දැකීමක් ලබන්නයි.

සංගීතය කියන්නෙ මිනිස් සංතානය පමණක් නොව  ඕනෑම සජීවී වස්තුවක් වෙත යහපත් බලපෑමක් කළ හැකි මාධ්‍යයක්. ගහ කොළවලට පවා සංගීතයේ බලපෑමක් ඇති බවට මතයකුත් තියෙනවනෙ. ඒත් අද වන විට සංගීතයේ නාමයෙන් සිදුවන දේවල් දැක්කහම ඇතිවන්නෙ ජුගුප්සාවක්. මේ ලඟදී දවසක රත්නපුරය බලා වාහනයේ යන කොට උදෑසන ගුවන් විදුලයේ වැඩසටහනකට ආපු වෛද්‍යවරයෙක් පවසපු අදහස් ටිකක් මෙහි සටහන් කරන එක හොඳයි කියල හිතුන. රටේ සෑම 3 දෙනෙකුගෙන් එක් අයෙක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව එදින පුවත් පත්වල පළවුන ප‍්‍රවෘත්තියක් ගැනයි වෛද්‍ය තුමාගෙන් විමසුවෙ. එතුමා ඒ සඳහා හේතු කාරණා ඉදිරිපත් කරන ගමන් සංගීතය ගැනත් කිව්ව. උදාහරණයක් ලෙස එළිමහන් සංගීත සංදර්ශනයක පටිගත කළ කොටසක් වාදනය කළා. එතුමා පැහැදිලිව කිව්වෙ මේ සංගිතය නෙමෙයි. මේක ඝෝෂාවක්. මේ හරහා කථා කරන්නෙ අපේ මනසට නෙමෙයි. අපේ හදවතට නෙමෙයි. අපේ මස් පිඩුවලට තමයි කථා කරන්නෙ.  ඒ හරහා අපේ රුධිර පීඩනය වැඩි වෙනව. හුඟක් සංගීත සංදර්ශන නිමා වෙන්නෙ රංඩුවකින්. සමහර විට පිහි ඇණුමකින්. ඇයි එහෙම වෙන්නෙ. සංගීතය විකුණාගෙන කන සියල්ලම මුදල් බවට පෙරලන ධනවාදී සමාජයේ කුණුවෙන  ඕජස් ගලන දහ ජරාව තමයි මේ අපි අත්විඳින්නෙ. සංගීතය නමින් අපි අත්විඳින මේ විකෘතිය මුළු සමාජයටම මහා විපතක් සිදු කරනව. අන්න එවන් වකවානුවක මිහිතල මිතුරන්ගේ සොබාසවිය තරුණ සමාජය කල්පනා කළා අර්ථවත් යමක් සමාජයට හැකි විදිහට දායාද කරන්න. ඒ අරමුණ ඇතිවයි ආනන්දයෙන් පඥාවට සංගීත චාරිකාව ඇරඹුනේ.

මේ වැඬේට අපිට උදව් කළේ ඔළබොඩුව සහෘද කැල. ලීලාරත්න ලියනගේ කියන්නෙ අපේ සංවිධානය 1994 ආරම්භ කරන දවසෙ මුලටම හිටපු සාමාජිකයා. ඔහු තමයි එදා තාවකාලික ලේකම් උනේ. එතුමා වැඬේ සම්බන්ධිකරණය කළා. විමලසේන කංකානිගේ අපේ පැරණිම සාමාජිකයෙක්. ඔහු සංගීත කණ්ඩයමේ මුළු බරම කරට ගත්ත. අවශ්‍ය ගුණාත්මක බවින් පිරිපුන් වැඩසටහනක් සඳහා අවශ්‍ය සම්පත් ඔහු හොයාගත්ත. නිස්සරණධ්‍යාශයෙන්ම ඔලබොඩුව සංගීත ශිල්පීන් සහායට ආව. කවුරුත් ඉවෙන් වගේ දැන ගත්ත මේ කරන්නෙ නියමම වැඩක් කියල. 

2013 බක් මාසෙ 07 වන ඉරිදා රාතී‍්‍ර 08.00 ට අපේ සංගීතමය රසෝගය රස ගුලාවක් වෙලා අපේ සවන් පත් හරහා අපේ හදවත් ස්පර්ශ කරන්න පටන් ගත්ත. 

අපි නීතිඥ ජෝන්ද සිල්වා ශූරීන්ගේ සිරිසඟබෝ නූර්තියේ එන සියවසකට ආසන්න කාලයක් මෙරට ජන හදවත් තුළ නොනැසි පවතින දන්නෝ බුදුන්ගේ ගිතයෙන් සංගිත වන්දනාව ආරම්භ කළා. 



හෙළ සංගීතය ඇරඹෙන්නෙ නූර්ති නාඩගම් ගී හරහා. ඊට පස්සෙ ග‍්‍රැමපෝන් ගීත. අපි මේ මං ඔස්සේ ඉදිරියට ඇදුන. ඇත්තෙන්ම සංගිතයයි ගායනයයි ආයෙ දෙක් නැහැ. නියම කොලිටි. මුල් ගායනය වගේමයි.අහමද් මොහිදීන්, ඊබ‍්‍රාහිම් මාස්ටර්, හරහා මෙම සංගීත චාරිකාව ඉදිරියට ගලාගෙන ගියෙ රස සාගරයේ රැළි නංවමින්  


ඇලන් රත්නායක ශුරීන් එදවස ගැයූ ග‍්‍රැමපෝන් යුගයේ ගිතයක් ‘‘ ගෞතම මුනිඳා වැඩ සිටි කාලෙ නිග්‍රෝධාරාමේ......’’ ගිතය අපේ නව පරපුරට දායාද කරන අවස්ථාව

ග‍්‍ර‍්‍රැමපෝන් යුගයෙන් අපි ආවෙ සිංහල සිනමාවට. සිංහල සිනමාවෙ පේ‍්‍රමනීය හඪකින් ගී ගැයූ ධර්සදාස වල්පොල සුරතලි චිත‍්‍රපටියට ගැයූ මිහිරි ගීයක රස මතුවන්නට පටන් ගත්තා. සුරතලී ..... සංගීතේ රසේ වෙලී තනිවූ දා මා......ඔබේ රුවේ බලේ පෑවාද පේ‍්‍රමේ අමා... 

ඩබ්.විල්ප‍්‍රඞ් සිල්වා ශූරීනන්ගේ ගේය පද රචනයෙන් හා ටී.ආර්.පාපා ගේ සංගීත නිර්මාණයෙන් එම ගිතය හැඩ වී ඇත.



සරමකුත් ඇඳගෙන ඉන්න මේ වයසක බුවාට මොන සිංදුද කියල හිතන්න පුළුවන් . ඇත්තෙන්ම ධර්මදාස වල්පොල ශූරින්ට අගෞරව නොවේවා. ඔහුගේ මියුරු හඩටත් වඩා ඉමිහිරි ලෙස මේ වැඩිහිටියා ඒ ගීතය ගායනා කළා. ඇත්තෙන්ම පිං අපට ඒ ගිතයෙන් එවන් රසයක් ලබා දුන්නාට. 


එවන් රස සාගරයක කිමිදෙන්නට වර්ම් ලැබූ භාග්‍යවන්තයින් ගෙන් කොටසක් 

පැරණි හංදි ගී තණුවකට අනුව සිරිසේන විමලවිරයන් විසින් රචනාකරන ලද එදවස ඒ.එම්.රාජා හා ජමුනා රානී යුවල විසින් ගයන ලද කරුණා රසයෙන් පිරි අතිශය ජනපි‍්‍රය ගීතයක් ...... 


පෙම් කැකුළ පීපී එන විට මහදේ.......

සිංහල සිනමාව හරහා අපි ගුවන් විදුලි ගීතයට ආව. අනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, හරහා පණ්ඩිත් අමරදේව ශූරීන් ගැයූ අමරණිය ගීතයන් ගයමින් ඉදිරියට චාරිකාව ඇදී ගියා. මේ අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන් එඞ්වඞ් ගැයූ මිහිරි ගීතයක විප‍්‍රයෝග ශෘංගාරය අපේ හදවතට දනවමින් ගීත ගායනයක යෙදෙන අපේ සොහායුරියක් හා සොහොයුරෙක්  

මේ ගයන්නේ රැ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ....... ගීතයයි


ආධුනික ගීත රචකයෙක් පද රචනා කළ ආධුනිකයෙක් විසින්ම තණු රචනා කළ ගීතයක් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කළා. එම ගීතය රාජ්‍ය සංගීත උළෙලේ වසරේ හොඳම ගීත රචනය, තණු නිර්මාණය හා ගායකයාට හිමි සම්මාන ති‍්‍රත්වයම දිනන්නට සමත් උනා. 

මේ තරම් සියුමැළිද කළුගල් සිතන්නටවත් බැරි නිසා ...... මම ගියා අව්කන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...... 

අපි පුරා පැය 3ක් තිස්සේ මෙම සංගීත චාරිකවෙ ඉදිරියට ඇදුනා. මොහිදීන් බෙග් සෝමතිලක ජයමහ, විකටර් රත්නායක, නන්දාමාලනී, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි, මර්වින් පෙරේරා, ගුණදාස කපුගේ, ක්ලැරන්ස් විජේවර්ධන, පසුකරමින් මාලනී බුලත්සිංහල දක්වාම පැමිණුනා. අප අතරමග දමා ආ අය බොහොමයි. නැවත දිනෙක මෙවන් සංගීත චාරිකාවක අත්දැකීමක් ලබන්නට අපට වාසානාව උදාකර ගන්නා දැඩි අදිටනින් මේ ව්‍යායාමය සාර්ථක කරගන්නට දායක වූ සැමට පිං දෙමින්  මේ බ්ලොග් සටහන මින් නිමා කරමු.

No comments:

Post a Comment