Thursday, February 6, 2014

කොඩිගහකන්ද සංරක්ෂණය නව මානයක් කරා ........... සොබාදම් දරුවන්ට ලෙන්ගතු ඇරයුමක් !

කොඩිගහකන්ද සංරක්ෂණය නව මානයක් කරා ...........

සොබාදම් දරුවන්ට ලෙන්ගතු ඇරයුමක් !

කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රථම යෝජිත වනජීවී අභය භූමිය වන කොඩිගහකන්ද සංරක්ෂණයට මිහිතල මිතුරන් ඇරඹු ගමන් මග 20 වන වසරට පා තබා ඇත.  මිහිතලයේ සැබෑ උරුමකරුවන් වෙත කොඩිගහකන්ද වනපෙත දායාද කරන්නට ඇවැසි නිර්මාණාත්මක ප‍්‍රවේශයක් දැන් ඇරඹී ඇත. 

ජන කලා කෞතුකාගාරයක්, අධ්‍යයන හා සංචාරය සදහා පැමිණෙන පිරිස් සදහා නේවාසික පහසුකම්, පුස්තකාල පහසුකම්, ශාකාගාරයක් යන අංගයන්ගෙන්  සමන්විත වන සේ ජෛව විවිධත්ව මධ්‍යස්ථානය පුළුල් කිරීමට සැළසුම් කර ඇත. ජෛව විවිධත්ව මධ්‍යස්ථානය ඉදිකිරීමේ සුබ නැකත යෙදී ඇත්තේ පෙබරවාරි 09 වන දිනයටයි. එදින උදෑසන 07.12 ට අත්තිවාරම් කැපීමත් උදෑසන 08.11 ට මුල් ගල් තැබීමත් ඉතාමත් චාම් උත්සවයක් මේ සදහා පැවැත්වෙනු ඇති.

කොඩිගහකන්ද මුදුනේ නිරීක්ෂණ කුළුණක් ඉදිකිරීමටත් ඒ හරහා මීගමුව සිට වෙරළ තීරය ඔස්සේ බේරුවල දක්වාත් එතැන් සිට රට මැද මධ්‍යම කදුකරය දක්වාත් දැකිය හැකි අයස්කාන්ත දසුන එක පැහැර දෙනෙතින් විදගන්නට සොබාදහමට පෙම් බදින මිනිසුන්ට අවස්ථාව උදා කර දෙන්නටත් අපි සැළසුම් කර ඇත. කොළඹ නගරයේ උස් ගොඩ නැගිලිවල සිට මුහුදේ පාවෙන නෞකාවන් ද සපුගස් කන්දේ නොනිමෙන ගිනි සිළුව ද ඔරුවල වානේ කම්හල ද ඇතුළු බෙහෝ දේ මෙම ස්ථානයේ සිට නැරඹිය හැකිය. බටහිර වෙරළ තීරයේ සිට කෙමෙන් ඉහළට නැගෙන කදු ශිඛරයන් සමනල කදු වැටිය කරා දිවෙන අපූරුව දකින්නට අපේ දරුවන්ට හැකියාව ලැබෙනු ඇත.  පෙබරවාරි 06 වන දා මෙම නිරීක්ෂණ කුළුන ඉදිකිරීම ඇරඹුවෙ සුබ මොහොතින්. උදෑසන 06.38 ට යෙදුනු සුබ මොහොතින් නිරීක්ෂණ කුළුණ ඉදිකරන බිම සකස් කිරීම ඇරඹු අතර 10.40 ට මංගල පස් පිඩැල්ල කැපීම සිදු කළා.

  
  කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය අසලින් ගලා බසින තැඹිලි දොල වර්ෂා කාලයට කදු මුදුනෙන් ගලා එන මහා ජල ප‍්‍රවාහය සමග දැඩි ලෙස ඉවුරු ඛාදනයට ලක්වෙමින් පවතින හෙයින් ස්වභාවික බාධක යොදමින් දොළෙහි  සංරක්ෂණයට පියවර ගැනීමට ද සැළසුම් කර ඇත.

කොඩිගහකන්ද වනපෙත තුල ස්වභාවික පිහිටිම් උපයෝගී කර ගනිමින් පාරිසරික වික‍්‍රමාන්විත කි‍්‍රයාවන් සදහා විශේෂ ඉඩක් ලබා දීමට සැළසුම් කර ඇත. ආරක්ෂිත ක‍්‍රම භාවිතා කරමින් ගල් මත නැගීම     සදහා පහසුකම් සැළසීමටත් ඒ හරහා විධිමත් ලෙස පාරිසරික සංචරණය සදහා අවකාශයන් නිර්මාණය කිරීමට ද සැළසුම් කර ඇත.

කොඩිගහකන්ද වනපෙත පිළිබදව 1995 න් පසුව විධිමත් ලෙස ජෛව විවිධත්ව අධ්‍යයනයක් කර නොමැති හෙයින් ප‍්‍රවීණ පර්යේෂක කණ්ඩායමක් යොදා ගෙන ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කර එය වාර්තාවක් ලෙස එළිදැක්වීමට  සැළසුම් කර ඇත.

ප‍්‍රදේශයේ කාලගුණ දත්ත මැන බැලීම සදහා අවශ්‍ය පහසුකම් හා උපකරණ ස්ථාපිත කර වනාන්තරය අභ්‍යන්තරයේත් බාහිරත් උෂ්ණත්වයේ හා වර්ෂාවේ විචලනයන් පිළිබද දත්ත ලබා ගැනීමට ද සැළසුම් කර ඇත.

ඒ සමගම ප‍්‍රජාව සමග එක්ව හරිත ආර්ථිකයක් තුළින් දිවි මග සරු කර ගැනීම සදහා ප‍්‍රජාව මෙහෙය වන වැඩසටහන් යටතේ මී මැසි පාලනය හදුන්වා දීමත්, ගෙවත්ත ඵලදායී ආකාරයට යොදා ගැනීම සදහා උදව් ලබා දීමටත් සැළසුම් කර ඇත. ඒ යටතේ කෝමාරිකා වගාව, ගම්මිරිස් වගාව, පළතුරු පැල වගාව සිදු කෙරෙනු ඇත.
මෙරටත් රටෙන් එහාත්  දිවි ගෙවන්නවුන් , හට ලෙන්ගතු හදින් ආයාචනයක් කරමු.  ඔබට ද මෙම පිං කමේ කොටස් කරුවකු විය හැකිය. ඒ සදහා අපේ ඊ මේල් හෝ දුරකථන හා සම්බන්ධ විය හැකිය.



No comments:

Post a Comment