Tuesday, June 18, 2013

සොබාදහමට පෙම් බඳින්නට රොද බැඳි ඉගලතලාවේ දරුකැල ..........

සොබාදහමට පෙම් බඳින්නට රොද බැඳි                                          ඉගලතලාවේ දරුකැල ......... 

ජූනි 5 වෙනිදා ජගත් පරිසර දින සැමරුම මිහිතල මිතුරන් හැටියට අපි සැමරුවෙ කෙහොමද කියල අපේ බ්ලොග් අවකාශයට යන එන යාළුවො දන්නව. මේ කියන්නෙ සොබාදහමට පෙම් බැඳි අපේ දරුකැලක් ගැන කථාවක්.  අපිට ඒ කියන්නෙ මිහිතල මිතුරන්ට ආරාධනාවක් ලැබුන ගාල්ල, ඇල්පිටියෙ,ඉඟලතලාව විදුහලේ ගුරුතුමෙක්ගෙන් ඒ පාසලේ පරිසර දිනය වෙනුවෙන් පවත්වන එක් දින පරිසර කඳවුරට සම්පත් දායකත්වය ලබා දෙන්න කියල. අපේ බ්ලොග් එක කියවල අපේ විස්තර දැන ගෙන තමයි අපිට එහෙම ආරාධනාවක් කරල තියෙන්නෙ. ඒ අයත් ඒක යොදා ගෙන තිබුනෙ ජූනි 8 වෙනිදට. අපේ ඉල්ලිමට අනුව ඒ කඳවුර ජූනි 9 වෙනිදට යොදා ගත්ත.

ඉතිං ජූනි 8 වෙනිදා අපේ පරිසර දින වැඩසටහන ඉවර වෙලා නිදා ගන්න හදන කොට ජූනි 9 වෙනිදා අළුයම 2.00 වෙලා. මොන නින්දක්ද ඒ ඉස්කෝලෙට උදේ 9.00 වෙන කොට යන්නත්  ඕනි. ඒ හින්ද නින්ද පැත්තකින් තියල ගමනට ෂුදානම් නා. මමත් අපේ උප ලේකම් වගේම සොබාසවිය තරුණ සංවිධානෙ ලේකම් වරයා හැටියට වැඩකරන රවිඳු සඳරුවන් සමග අළුයම 4.00 ට මහරගමට ගිහින් අධිවේගී මග ඔස්සේ යන ගාල්ල බස් රථයකට ගොඩ උනා  අපිට යන්න තියෙන්නෙ ඇල්පිටියෙ කුරුඳුගහ හැතැක්මට. ඒකට ඇල්පිටිය බස් රථයකට ගොඩ උනානම් හරි. ඒත් 
දේට අධිවේගී මගේ ඇල්පිටියට බස් නැහැ. තියෙන්නෙ හවසට විතරයි. මොනව කරන්නද දේ 6.40 වෙන කොට අපි අඨිවේගී මගේ කුරුඳුගහ හැතැක්ම පිවිසුම පහුකළා. හරිම දුකයි. කොහොම හරි 7.10 වෙන කොට අපි ගාල්ලෙ. එතැනින් ගත්ත ඇල්පිටිය බස් එකක්. 7.35 ට බස් රථය පිටත් උනා. ඉබි ගමනින් බස් රථය ගාපුපාර ඔස්සේ දොඩංදුව පැත්තට ගමන් කරනව. ‘‘අපිට මහරගම ඉඳල ගාල්ලට පැය එකහමාරකින් එන්න පුළුවන් උනත් මේ ටික යන්න සෑහෙන වෙලාවක් යයි වගේ....’’ මම සඳරුවන්ට කිව්ව. මගේ මතකයන් අතිතයට දිව යමින් තිබුන. මේ සුන්දර දකුණු වෙරළ තීරයට මම කොයිතරම් ආශා කළාද? මේ මහා සාගරයේ සිදුවන වෙනස්කම් මම කොයිතරම් දැකල තියෙනවද? ඒ 1983 වක වානුව. මම දොඩංදුවෙ කුමාරකන්දෙ ඉඳගෙන ගත කළ අතිතය සිහිපත් කරමින් ඉන්න අතරෙ බස් රථය කුමාරකන්ද පහු කළා. ගෝනපීනුවල, බටපොල පහු කරගෙන බස් රථය කුරුඳුගහට එන කොට වෙලාව 9 පහු වෙලා.

ඉගලතලාව ඉස්කෝලෙ තියෙන්නෙ අධිවේගෙ අයිනෙමයි. හරිම සුන්දර පරිසරයක්. 


යාළුවන්ට පේනවනේද? මේ තමයි ඉස්කෝලෙට ඇතුල්වෙන තැන. අර එහායින් පේන්නෙ අධිවේගී මග.


ගුරු මංඩලයේ මහත්ම මහත්මීන් අපිව ලෙන්ගතු සහෝදරත්වයෙන් පිළිගත්ත. උදේ 10.00 ට විතර පරිසර දින කඳවුර පටන් ගත්ත.


මේ පාසලේ දැනට පරිසර නියමු වැඩසටහනක් නැහැ. විදුහලේ ගුරුවරුන් මේ දරුවන්ට දක්වන්නෙ පුදුමාකාර ආදරයක්. දරුවොත් ඒ වගේමයි. හරිම විනය ගරුක දක්ෂ දරු කැලක්. මේ ගුරුවරු තමන්ගෙ මුදල් වියදම් කරල තමයි මේ කඳවුර සංවිධානය කරල තිබුනෙ  ආහාරපාන සකස් කළෙත් ගුරුවරුමයි. මේ තමයි ඇත්තම ගුරු දෙවිවරු. ඔවුන්ට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුමයි. 
ඉතිං අපි මුළින්ම පරිසරය සොබාදහම සහ මිනිසා පිළිබඳව ඔවුන්ව දැනුවත් කළා.

අපි ඊට පස්සෙ දරුවන් කණ්ඩායම් 3 කට වෙන් කළා. ඒ ගොල්ලොම තමන්ගෙ කණ්ඩායමට නමක් තිබ්බ. පිරිපුන් අඹ, වැහිමල් සහ සපු   තමයි කණ්ඩායම් තුනේ නම් උනේ. 



කණ්ඩායම් තුනට විවිධ අභියෝගයන් ලබා දුන්න. කණ්ඩායම් හැඟීම නිර්මාණශිලීත්වය, නායකත්වයේ ගුණාංග ඉස්මතු වෙන ආකාරයට කි‍්‍රයාකාරකම් සකස් වෙලා තිබුන.




ලී කැබලි 2 ක් පමණක් වෙනස් කර  කූණු ගොඩ සවලින් ඉවතට දාන්නෙ කොහොමද?     බර කල්පනාවක.





ඉවසීම,කල්පනා ශක්තිය වැඩි දියුණු කරන තවත් කි‍්‍රයාකාරකමක්. කූරු 3 යි එකිනෙකට ප‍්‍රමාණයෙන් වෙනස් හැඩතල 4 යි. පිළිවෙලට හිටින්න මුලූ කූරෙන් අවසන් කූරට ගෙනයන්නයි තියෙන්නෙ. හැබැයි එක්වරකට උස්සන්න පුළුවන් එකයි. පොඩි එකක් උඩින් ලොකු එකක් තියන්නත් බැහැ. අතට ගත්ත එකක් කූරකට දාන්නම  ඕනි. 



රජතුමාගෙ අශ්වගාලට පැනල වැඩිම අශ්වයින් ප‍්‍රමාණයක් හොරකම් කරන්නයි මේ පල් හොරා වළිකන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියල.

මෙවැනි කි‍්‍රයාකාරකම් රැසකට මුහුණ දුන් මෙම දරුවන් දිවා ආහාරයෙන් පස්සෙ මුහුණ දුන්නෙ තරමක ත‍්‍රාසජනක අත්දැකිමක් විද‘ගන්න. කණ්ඩායම් හැගීම වගේම නිර්මාණශීලි කුසලතාවය ඉහළින්ම තියෙන්න අවශ්‍ය කි‍්‍රයාකාරකමක්. මේ තමයි දැළ විවීම. ඒක ශක්තිමත් වගේම හොද‘ නිමාවකින් තියෙන්නත්  ඕනි. කණ්ඩායමේ සියළුම සාමාජිකයින් දැලට දාලා උඩ දාන්නත්  ඕනි. අනතුරකින් තොරව මේ වැඬේ කරන්නම  ඕනි. 




සපු කණ්ඩායම දැල වියා අවසන් කළ පසු




වැහි මල් කණ්ඩායම දැල වියා අවසන් කළ පසු


පිරිපුන් අඹ කණ්ඩායම දැල වියා අවසන් කළ පසු

වෙලාවත් හවස 3 ට කිට්ටු වෙමින් පැවතුනා. අපි ආපහු එන්නත්  ඕනි. පැල සිටුවීමේ ශ‍්‍රමදානයකුත් තව කරන්න තියෙන හින්ද අපේ වැඩ කටයුතු අවසන් කරන්න තිරණය කළා. මේ දරුවන් ගෙන් වගේම ආදරණිය ගුරුවරුන්ගෙන් සමු ගන්න එකත් හිතට දුකක්. සියළු කි‍්‍රයාකාරකම් අතුරින් ප‍්‍රථමයා නේ සපු කණ්ඩායම. දෙවැනි තැන පිරිපුන් අඹ සහ තෙවැනි ස්ථානය වැහි මල් කණ්ඩායමට හිමි උනා. 

මේ ගමේ ඉන්න සාමාන්‍ය ජනතාවගේ දරුවො තමයි මේ ස්කෝලෙ ඉගෙන ගන්නෙ. හැබැයි මේ දරුවන් හැබෑවටම දක්ෂයි. ඒවගේම ගුණ ගරුකයි. අපිට ලොකු උවමනාවක් තියෙනව මේ දරුවන්ට උදව් කරන්න. කි‍්‍රයාකාරි පරිසර සංවිධානයක් හදන්නත් ඒ වගේම අපේ කොඩිගහකන්ද අභය භුමියට එක්ක ගෙන ඇවිල්ල  නේවාසික කඳවුරක් කරන්නත් දෙහිවල සත්වෝද්‍යානයට ගිහින් තරුණ සත්වවේදීන් සමග මේ දරුවන්ට අත්දැකීමක් ලබල දෙන්නත්. අපි ඉතිං දුප්පත්නෙ. අනේ අපිට මුදල් එපා. මේ වැඬේ එක් එක් කොටස් වලට දායක වෙන්න බලන්න. සැබෑ මිනිසුන් ඉන්නවනම් අපිව අමතන්න. එන්න යන්න ප‍්‍රවාහනයයි. කෑම ටිකකුයි තියේ නම් ඒ හොඳටම ඇති. ඉතිරි ටික අපිට කරන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි ඉඟලතලාවෙ දරුවන්ට හොඳ පාරිසරික අත්දැකිමක් ලබන්න දායක වෙමු. ඒක පිං කමක්. 

අපේ දුරකථන අංක දන්නවනෙ . 0713496971 මුණගම, 0716606318 ප‍්‍රදිප්, 9714285480 සඳරුවන්, 0714472805/0773464973 චන්දික හෝ 0779557177 මහේෂ් 

අපේ විද්‍යුත් ලිපිනයන්   mihithala.mithuro@yahoo.com
mihithalamithuro@gmail.com

No comments:

Post a Comment