Monday, June 24, 2013

සත් වසක් නොනැවතී ඉදිරියටම ........

සත් වසක් නොනැවතී ඉදිරියටම ........


ඒ 1996 අවුරුද්ද. ජූනි 1 දා පොසොන් පොහොය දවස. ඔළබොඩුව මංසන්ධියේ දි අපි ප‍්‍රථම වතාවට කොළ කැඳ හා ඔසුපැන් දන්සලක් පැවැත්වූවා. 1997.06.20 වන දින පොසොන් පෝය දවසෙ 2 වන වතාවටත් අපි එම ස්ථානයේ දි කොළකැඳ දන්සල පැවැත්වූවා. 1998.06.08 දා අපි 3 වන වතාවට කොළ කැඳ දන්සල පැවැත්වූයේ ගෝනපල මංසන්ධියේ දි.

වසර 9 කට පස්සෙ  නැවත  මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් කොළකැඳ දන්සල 2007 දී පින්නකොළවත්ත පෙර පාසල අසලදී පැවැත්වූවා. එතැන්සිට නොනවත්වා කොළකැඳ දන්සල පියවරෙන් පියවර ඉදිරියට ආව. 7 වන පියවර පහු කලේ 2013 පොසොන් පෝය දවසෙ(2013 ජුනි 23)  ඒ කියන්නෙ යාළුවනේ අපි දැන් 10 වතාවක් දන්සල පවත්වල කියන එකයි.



ඉතිං යාළුවනේ කොළ කැඳ දන්සලක් ගැන බ්ලොග් එකක විස්තර ලියන්නෙ ඇයි කියල ඔයාල හිතන්නත් පුළුවන්. ඇත්තෙන්ම මේ කර්තව්‍ය නිකම්ම නිකන් කොළ කැඳ දන්සලක් පමණක් නොවෙයි. මෙය එකමුතු කම විනෝදය සහ කණ්ඩායම් හැඟීම් ඉස්මතු කරන කි‍්‍රයාකාරකමක්. වෙන කවරදාකටත් වඩා ජනතාවගේ ඉහළම දායකත්වය ලැබුණු වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.


මුලින්ම කොල ටික  හොදීන් ශුද්ධ පවිත‍්‍රකර ගන්න  ඕනිනෙ. ඊට පස්සෙ කොල ටික හොඳට හෝද ගන්නම  ඕනි 





හෝද ගත්ත කොල ටික කොටන්න ඉස්සෙල්ල කුඩා කැබලි වලට කපා ගත්තහම පහසුයි.



කොළකැඳ දන්සලක් කියන්නෙ පෙනෙන්න තියෙන දේට වඩා ලොකු දෙයක් කියල ආරම්භයේදිම අපි කිව්වනෙ. දන්සලට පෙරත් පසුත් දිවයන කථාවක් ඒකෙ තියෙනව. දරුවන් ප‍්‍රායෝගිකවම ඉගෙන ගන්නව වැඩක් නිසි පරිදි කරන්නෙ කොහොමද කියල. ලේසියි කියල හිතෙන්න පුළුවන්. ඒත් වැඬේ හිතන තරම් ලේසි නැහැ. පාසල් වයසේ පසුවන පුංචි දරුවන්ට මේක ලේසි වැඩක් නෙමෙයි. අපේ තරුණ සංවිධානෙ වගේම සජන මිතුරෝ වැඩිහිටි කට්ටිය වැඬේට උදව්වට හිටියට වැඬේ බරම හරිය කරන්නෙ ළමා සමාජයේ කට්ටිය. කොළ කැඳ දන්සලට අවශ්‍ය දේවල් කොච්චර නම් තියෙනවද? මඩු කූඩාරම් වල ඉඳල කල්දේරම්, වංගෙඩි මෝල්ගස්, වල ඉඳල හැම දෙයක්ම හොයාගන්නත්  ඕනි. ඒවා ප‍්‍රවේශමෙන් පාවිච්චි කරල මාරු කරන්නෙ නැතුව අයිතිකරුවන්ට ආපහු භාරදෙන්නත්  ඕනි. දැන් දරුවන්ට අවුරුදු 7 ක අත්දැකිම් තියෙනව. එහෙම කියන්නත් බැහැ. එදා ළමා සමාජයේ හිටපු අය දැන් තරුණ සංවිධානයේ. ළමා සමාජයේ ඉන්න පැටවුන්ට එච්චරම අත්දැකිම් නැහැ. ඒත් වැඬේ කිසිම අඩුවක් නැතුව කරන්න ඒ අයට පුළුවන්. 


දැන් කොළ ටික කුඩා කැබලි වලට කැපුවට පස්සෙ ඒව වංගෙඩි ලඟට ගෙනියන්න කට්ටියක් ලැහැස්තියි.


මේව ඉතාමත්ම සිහින් වෙනතුරු කොටා ගන්න කට්ටියක් ලැහැස්තියි. හැමෝම  කිසිම කම්මැලි කමක් නැතුව හැම වැඩක්ම කළා. 
පුංචිම එක්කෙනාගෙ ඉඳල වැඩිහිටි කෙනා දක්වා හැමෝම කොළ කොටන්න උදව් උනා. 







කට්ටියක් කොටන කොළ  මිරිකනව. 





ඒ අතරේ තව කට්ටියක් පොල් ගානව.






ඒ විතරක් මදිනෙ. ගාගත්තු පොල්ටික හොඳින් මිරික ගන්නත්  ඕනි. ඒ කට තවත් කට්ටියක් ලැහැස්තියි 


ආ..... ඒ ඔක්කොම අතරෙ රාතී‍්‍රයට කන්නත් එපායැ. ළමා සමාජයේ ආකාශ්ගෙ දෙමව්පියො හරිම රසවත් රාතී‍්‍ර ආහාර වේලකින් හැමෝටම සංග‍්‍රහ කළා. 


පුංචි පැටව් හරිම ආශාවෙන් කෑම ටික කෑව. 



ආහාරය තුලින් මතුව එන මිතුදම හා සහෝදරත්වය 


දැන් තමයි අමාරුම හරිය. ලිප ගිනි මොලවල කැඳ භාජන ලිපේ තියල කැඳ හදන එක. 
එක මොහොතක්වත් නතර කරන්නෙ නැතුව ලිපේ තියාපු වෙලේ ඉඳල කැඳ භාජනය කූරු ගාන්න එපායැ. ගිනි රස්නෙ කකා කරන මේ වැඬේ නම් ලේසි පාසු වැඩක් නෙමෙයි.

ඒකට ඉස්සෙල්ල තව වැදගත් දෙයක් සිදු උනානෙ. හරියටම රාතී‍්‍ර 12.00 ට ඒ කියන්නෙ ජූනි 23 වෙනිදා උදා වෙන කොට විශේෂ දෙයක්. ඒ තමයි අපි කාගෙත් ආදරණිය ප‍්‍රදීප්,අපේ සංවිධානයේ භාණ්ඩාගාරික තුමාගෙ උපන් දිනය. හැමෝම එකතු උනේ උපන් දිනය සමරන්න.





සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ  උපන් දිනයකට ආසිරි !


ආදරණිය සෙනෙහෙවන්ත මෑණියන්ගෙන් උපන් දින හාද්දක් !

රාතී‍්‍ර 12.30 ට විතර කැඳ උයන්න පටන් ගත්ත. පහුගිය ටිකේම දිගටම මහ වැසි වැස්ස නිසා දර තරමක් තෙත බරයි. ඒ හින්ද ලිප අවුලූවා ගන්නත් ලේසි නෑ. නිතරම ලිපට පිඹින්නත්  ඕනි. කැඳ භාජනය කූරු ගාන්නත්  ඕනි.



පොසොන් පොහෝ දිනය උදා වෙමින් පැවතුනා. තාමත් හිරු කුමරුන් ලොවට වැඩල නෑ. අළුයම 04.00 ට විතර දන්සලේ කොළ කැඳ බෙදන්න පටන් ගත්ත. විහාරස්ථානයට සිල් සමාදන් වෙන්න යන උවැසි උවැසියන් තමයි දන්සැල විවෘත කළේ. 









වටින් ගොඩින් එළිය වැටෙන කොට  සුපුරුදු විදිහටම කොළ කැඳ පානය පිනිස වැල නොකැඩි ජනතාව පැමිනෙන්න පටන් ගත්තා.


පුංචි දරුවනුත් කැටුව ඇවිත් මේ වටිනා ඔසුව ඔවුන්ටත් ලබා දෙන්න බොහෝ අය අමතක කළේ නැහැ




අපි උදෑසන වන විට ලොකු සාස්පාන් 5 ක් පිරෙන්න කැඳ හදල ඉවරයි. ඒත් වේගයෙන් ඒව ඉවර වෙන්න පටන් ගත්ත. කවරදාකවත් නැති විදිහට අපිට නැවතත් උදෑසන කැඳ හදන්න සිදු උනා.  



දවල් 10.00 ත් පහු වෙනකම්ම කොළ කැඳ දන්සල පැවැත්වූවා. හැමෝම පෙරදා රාති‍්‍රය ගෙවා දැමුවෙ නිදි වර්ජිතව. එක දිගටම වැඩ කෙරුවත් වෙහෙසක් නොදැනෙන්නෙ සාර්ථකත්වය නිසා විය යුතුයි. කෙසේ වෙතත් සියල්ල අවසන් කළ මිහිතල මිතුරන් 2013 පොසොන් කොළ කැඳ දන්සල නිමාවකට පත් කළේ 2014 වෙනස්ම වූ අත්දැකීමක් ලබන බලාපොරොත්තුවෙන්.

No comments:

Post a Comment